October 17, 2010

…සිතුවිල්ලක්…

sad_couple[1] හුස්මක් වෙලා නුඹේ
හදවතට රිංගන්න
පවන් රැල්ලක් වෙලා
ඉන්නද මං........
හීනයක් වෙලා නුඹේ
නිදි ලොවේ රජවෙන්න
මතකයක් වෙලා නුඹේ
ඉන්නද මං......
වෙරලේ ඇඳි නුඹේ
පා ලකුණු සිපගන්න
රුල්ලක් වෙලා වත්
ඉන්නද මං...
වචනයක් නොදොඩනා
නුඹේ ඔය නිහඬ බව
තවත් දරාගෙන ඉන්නේ
කොහොමද මං....

September 30, 2010

හිටපු ගමන් හිතුන ගමන් ‍‍‍‍| අහස් තටාකයේ සිට අයිස්ක්‍රීම් කෑම.

අහලා තියෙනවද වළාකුළු වලින් වැහිච්ච උස් කඳු මුදුන් වල තියෙන ජේඩ් අධිරාජ්‍යයාගේ උයන් ගැන. (චීන සුරංගනා කතන්දර වල) මට හිතුනෙම මම ඇවිත් ඉන්නේ ඒ වගේ තැනකට කියලා.  පළාතම මීදුමෙන් වැහිලා.. කිසිම සද්දයක් නෑ. කුරුල්ලන්ගේ සද්දේ විතරමයි. බලෙන් වගේ යුනිෆෝම් එක අන්දලා හිටපු වයසක සික්‍යුරිටි අංකල් කෙනෙක් ඇවිත් අපිව පඩිපෙල් පේලියක් දිගේ ඒ සොඳුරු නැවතුම් පළට කැඳවාගෙන ගියා. බැලූ බැල්මට ඒ නැවතුම් පළ ගොඩාක් පුංචි වගේ. ඒත් වත්ත ගොඩාක් පුළුල්. උදේටත් නොකා හිටපු නිසා පරිසරයේ සුන්දරත්වය විඳින්න මගේ පුරු පුරු ගාන බඩගෙඩිය නම් ඉඩ දුන්නේම නෑ. ඒ හින්දා ඉක්මනට දවල් කෑම ලෑස්ති කරන්න කියලා අපේ ගමන් මල්ලත් උස්සගෙ අපි අවට ඇවිදින්න ගියා.. දෙවියනේ ඒ පරිසරයේ ලස්සන.. මම ටිකක් හුස්ම ගන්න අමතක වෙලා වගේ බලන් හිටියා කිව්වොත් නිවැරදි. කොතනටද අපි යන්නේ කියලා තීරණයක් ගන්න බැරුව ඉද්දි මම දැක්කා නිල් කැටේට වතුර පිරිච්ච මේ පූල් එක.

My pix1330

My pix1327

උඩ තියෙන පින්තූරේ ඈතින් පේන ගහ යට තියෙන තැන තමයි අපි තෝරාගත්තේ පොත් කියවන්න. එතනම තියෙන පඩි පෙළෙන් බැහැලා තමයි අපි මෙතනට ආවේ. ඔන්න ඒ පඩි පෙළ පාමුල ඉඳලා එපඒ සොඳුරු නැවතුම් පල පේන හැටි.

My pix1345

ඔන්න අපි හිටපු තැනට පේන කවත් අපූරු සුන්දර දසුන් කිහිපයක්..

My pix1340

My pix1342 

My pix1351 

My pix1353

My pix1343

තව ලස්සන තැන් තිබුනත් හුස්ම ගන්නත් අමතක වෙලා හිටපු මට ෆොටෝ ගන්න මතක් කරෙත් අසරුවා නොහොත් කුෂාන් අයියා. මේ මම ඉන්න තැනට පහළින් තියෙනවා ඊගල් නෙස්ට් කියලා තවත් තැනක්. මේ නැවතුමේම තවත් කොටසක්. අවාසනාවකට මට ඒකේ ෆොටෝ ගන්න බැරි උනා.

My pix1337

My pix1339

හෑ…හ්! මේ මම නම් පොටෝ ගැහුවේ කවුද?

ඇත්තටම මේ පරිසරේ උපරිමෙන්ම රසවිඳින්න නම් අපි හිටපු පැය දෙක තුන හොඳටෝම මදි. අපිට බලන්න පුළුවන් උනේ මේ පූල් එක ළඟ විතරයි. අපි බැහැලා ආපු පඩි පෙළින් උඩට ගියාම තවත් ලස්සන තැන් තියෙනවා කියලා කිව්වේ මේ නැවතුම් පලේ මැනේජර් අංකල්. ආයෙක් දවසක මෙහේ එන්න අපි දෙන්න කතා උනේ ඒ නිසා. නගරාසන්නයේ තියෙන තදබදයෙන් මිදිලා කාත් කවුරුත් නැති කුරුල්ලන්ගෙයි වතුර සද්දෙයි විතරක් ඇහෙන මීදුමෙන් වට වෙච්චි මේ සීතල කඳු මුඳුනට කවුද අකමැති. මම නිකමට ඇස් දෙක පියාගෙන අහගෙන හිටියා. වෙනදට කනට හුරුපුරුදු ශබ්ද කිසිවක් නැතිව හුළගේ ශබ්දය විතරක් අහගෙන ඉන්න එක කොච්චර ලස්සන අත්දැකීමක්ද දන්නවද? පුංචිම පුංචි වේලිච්ච කොළයක් බිමට වැටුනත් ඇහෙන ගානට පරිසරය නිශ්ශබ්දයි. ලෙක්චරින් වැඩේ දමලා ගහලා world’s end lodge එකේ පිඟන් හෝදන්න ආවත් සැපයි කියලා මට හිතුනා. අනේ මන්දා. මට ඒ වෙලේ හැඟිච්ච දැනිච්ච දේවල් කියන්න මම දක්ෂ නැහැ. මගේ වචනත් දක්ෂ නැහැ. මගේ Nokia Xpress Music 5130 ජංගම දුරකතන කැමරාවත් දක්ෂ නැහැ. තනියම ඇවිල්ලා පොතක් කියවන්න. පවුල් පිටින් ඇවිල්ලා කන්දක් මුදුනේ තියෙන ස්වාභාවික වතුර පිරුණ පූල් එකක සීතලේ ගැහි ගැහී නාන්න, හිරිඟඬු පිපෙන මීදුමේ ඉඳන් උණුසුම් කෝපි කෝප්පයක් බොන්න, තමන්ගේ ආදරේ එක්ක ඇවිත් උරහිසේ ඔළුව තියාගෙන ඔහේ වළාකුළු වලට උඩින් තියෙන කඳු මුඳුන් දිහා බලාගෙන නිදහසේ ඉන්න කැමති ඕනෑම කෙනෙකුට මෙතන පාරාදීසයික්. මාත් එක්ක ගිය එක්කෙනෙක් කියනවා “අනේ මන්දා ෆා මට නම් සැහැල්ලු(relax) වැඩියි වගේ” ඇත්තටම මටත් හිතුවේ එහෙමමයි. මම ඇවිදිනවා වගේ නෙමේ පාවෙනවා කියලයි හිතුනේ. ඔන්න ඒ හැමදේම බලලා අපි දෙන්න අර කලින් කියාපු තැනට ගියා පොත් කියවන්න. මොන පොත් ද? මට නම් ටිකෙන් ටිකට ඔළුව ඉස්සිලා වටපිටාව බලන එක නවත්තන්නම බැරි උනා.

My pix1344

My pix1332

ඔහොම පොත් කියවන්න ගත්තාට පස්සේ ඔන්න කීකරු සූටි කොලු පොඩ්ඩෙක් ඇවිත් කෑම ලෑස්තියි කියලා අපට නිවේදනය කරා. සීතලේ බඩගින්නේ හිටපු අපි දෙන්න හොඳ කෑම වේලකිනුත් සප්පායම් වෙලා ආයෙත් අර ගහ යටට ගියා. කරුමෙක මහත කියන්නේ එදා ඩෙසර්ට් වලට තබුනේ අයිස්ක්‍රීම්. සීතල මදිවට අයිස්ක්‍රීම් කප් දෙකටත් අපි වගකිව්වා බෑ නොකියා.

ඔහොම ඉද්දි ආවේ නැතෑ බස් එකකින් ආපු 20ක විතර සෙනඟක්. හෙන පොෂ් ඈ.. ආවේ කොළඹින් ලු.  පූල් එක ඩර්ටි ලු. රෑෂස් හැදෙයි කියලත් කිව්වා. පව් අනේ.. ඒත් එක්කම එතන හිටපු ගෑණු ළමයෙක් කන්ද දිහාට හැරිලා හයියෙන් “හෙලෝ..ව්” කිව්වා. එතකොටම ඒ සද්දේ දෙතුන් පාරක්ම කඳු අතර දෝංකාරය දුන්න හැටි මට තාමත් ඇහෙනවා වගේ…..

ඉතින් ඔය සෙනඟ ඇවිත් අර තිබුන නිහැඬියාව නැති කරලා දැමීම නිසා අපි තීරණය කලා තවත් දවසක පූල් එකට බහින්නත් එක්ක ලෑස්ති වෙලා ආයෙත් එමුයි කියලා මේ ගමන ඉවර කරන්න.. ඔන්න ඔහොමයි විස්තරේ.. කලින් පරිසරයේ ටයිට්ල් එකේ කියවෙන තරම් කැලෑ පරිසරයක් මෙතන නැති බව නම් ආයෙත් මතක් කරන්න ඕන. මෙන්න අන්තිමට අපි නැවත යන්න ඕන පාර කඳුමුඳුනට පේන හැටි.

My pix1358

වැඩි පුර පින්තූර බලනවා නම් යන්න මූණු පොතට..

මේ තැන ගැන අහසේ සිට බලනවා නම් මෙන්න තැන..

පුළුවන් දවසක ඔබත් අනිවාර්යෙන් ඇවිත් යන්න. The World’s End Lodge එකට දෙන මාකටින් පාරක් නොවුනට මෙය පරිසරයට ආදරය කරන්නන්ට කෙරෙන් සුහද වූ ආරාධනාවක්. බරවාහන නැතුව වෑන් එකකින් වගේ නම් මෙතනට පහසුවෙන්ම එන්න පුළුවන්..

ඉතින් අදට ඇතිය .තවත් මෙවැනිම චාරිකාවක් ගැන විස්තර අරන් නැවත එනතුරු අදට ඔබෙන් සමුගන්නා මම ෆා…………!!

හිටපු ගමන් හිතුන ගමන් ‍‍‍‍| ලෝකාන්තයේ වල් වැදී පොත් කියවීම

සෙනසුරාදා…….. දැන් මම ඇඟිලි ගැන ගැන ඉන්නේ කවදාද සෙනසුරාදා වෙන්නේ කියලා.. ඉතින් එහෙම ඇඟිලි ගැන ගැන හිටපු සෙනසුරාදාවක් තමා ගිය සතියේ උදාඋනේ.. කලින් ප්ලෑන් කරේ නම් එදාට Book Fair එකට එන්න. ඒත් සමහර හේතු නිසා ඒ ගමන යන්නත් බැරි උනා. උදේම අස්සයයි අසරුවයි එන්න පරක්කු උන නිසා මම නම් එදා දවස ගැන බලාපොරොත්තු අතඇරගෙනයි හිටියේ.. ඒත් අන්තිමේදී හැමදාමත් වගේ හිටපු ගමන් හිතුන ගමන් යන අපි දෙන්නා එදත් ලෑස්ති උනේ ඒ වගේ ගමනක් යන්න. යන්නේ කොහෙද නොදැන හිටියත් මං Book Fair එකෙන් ගෙන්න ගත්ත පොත් දෙකකුත් බෑග් එකට ඔබා ගත්තේ  අවස්ථාවක් ලද සැනින් සාහිත්‍ය මාසේ සමරන්න ඕන නිසා. යන්නේ කොහෙද කින්ද මන්ද මොකුත් නාහපු මම අස්සයාගේ පිටිපස්සෙන් වාඩි උනා. ඉතින් ඔහොම ගමන පිටත් උන අපි දෙන්නා වෙනදත් යන පුරුදු පාරක (හපුතලේ පාර) ගමන ආරම්භ කරා. බණ්ඩාරවෙල හපුතලේ බෙරගල හල්දුමුල්ල කළුපහන.. ඔන්න අපේ ගමන් මාර්ගය. ඒ පාරේ බලන්න රසවිඳින්න තිබුන දේවල් නම් අපමණයි. ඒත් හැමදේම මේ පෝස්ට් එකේ දාන්න ගියොත් අද මේක ඉවරයක් වෙන්නෑ.. වචන දාහකින් කියන දේ එක පින්තූරයකින් කියන්න පුළුවන් කියනවා නේ. ඔන්න එහෙනම් මගේ වචන ඉතුරු කරගන්න පින්තූර ටිකක්.
 My pix1312  
My pix1314
My pix1313
My pix1317
My pix1318
My pix1319
අපි හොයාගෙන ගියේ ඉස්කෝලයක්. නම වල්හපුතැන්න මහ විද්‍යාලය. ඒ ඉස්කෝලේ තමා අපේ ලෑන්ඩ් මාර්ක් එක උනේ අපේ ගමනාන්තට ආසන්නයි කියලා දැනගන්න. ඔන්න අපි එතනට ළගා වෙලා වැඩිපුරත් ටිකක් පාරේ පහළට ගියාම සද්දන්තයෙකුට හරිම ඇබැද්ධියක් වෙලා. මේ බලන්නකෝ….
My pix1320
ඒකත් බලාගෙනම ආයේ හරවාගෙන ආපු අපි අස්සයාව ඔන්න අතුරු පාරකට දැම්මා. ඔය අතුරු පාරෙන් තැන් දෙකකට යන්න පුළුවන්. එකක් බඹරකන්ද දිය ඇල්ලට අනික අපේ සොුරු ගමනාන්තය වූ “The World’s End Lodge” වෙතට. ඔය පාරේ ටික දුරක් යන කොට ආයෙත් පාර බෙදෙනවා දෙකකට. එකක් අර මම උඩින් කියපු දියඇල්ලට. අනිත් පාරේ තමා අපි යන්න ඕන. හැබැයි ගිහිල්ලා බහිනකල් වත් මම හිතුවේ නෑ මේ පාර “The World’s End Lodge” වලට යන පාර කියලා. ඒ පාර විහිදුනේ හරියටම පිටිසර ගමකට යන ගුරුපාරක් වගේ. හැම  වංගුවක් හරවද්දිම මට හිතුනේ දැන් පාර ඉවර ඇති කියලා. ඔහොම ලස්සන චූටි ගෙවල් ටිකකුත් පුංචි දිය ඇල්ලකුත් පහුකරගෙන ගිය අපට කන්දකුත් අදින්න සිද්ද උනා..
My pix1321
My pix1322
My pix1323
My pix1325
ඔන්න ඒ කඳු ගැටෙත් නැගලා අවසානයේදි අපි ලඟා උනා අපේ ගමනාන්තය නොහොත් “The World’s End Lodge” වෙතට.
My pix1356
My pix1345
ඊළඟ කොටස අද රෑටම……..!

September 9, 2010

කියන්නට වචන නැත…

මම මේක අද කිව්වට කමක් නෑ කියලයි හිතෙන්නේ ..ඊයේ මගේ උපන් දිනේ ..

හරියටම රෑ දොළහට කිහිප දෙනෙක් කතා කරලා සුභ පැතුවා.. ඊට පස්සේ ලස්සන ඊමේල් කිහිපයකින් සමහරු සුභපතලා තිබුනා.. උදේම මගේ ආදරණීය (නැන්ද)අම්මා‍ගෙන් සුභ පැතුමක්.. SMS වලින් තවත් කිහිප දෙනෙක්.. ඔෆිස් එකට ආවම ආයෙත් සුභ පැතුම්.. ආයෙත් ටිකකින් අම්මයි අයියයි කතා කරලා සුභ පැතුවා . ඉතිං යන්තම් උදේ 10 වෙද්දි මගේ හිත පිරිලා තිබුනේ.. දැන් ඔක්කොම හරි.. මගේ හිත කිව්වා..   ඊට පස්සේ ගූග්ල් Buzz එකට ගියාම එතන කිහිප දෙනෙකුට වැඩේ මාට්ටු වෙලා කියලා මට තේරුනා.. එයාලා කොහොමද දැන ගත්තේ කියන එක මට ප්‍රශ්නයක් වෙලයි තිබුනේ.. ඉතින් ඊයේ දවස ඔහොම ගෙවුනයි කියමුකෝ…

අද උදේ පණිවිඩයක් ආවා වහාම ඊමේල් චෙක් කරන්න කියලා …. බැලින්නම් මෙන්න බොලේ හොඳම උපන්දින තෑග්ග එතන..

ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ‍කාර්ඩ් එක ඊයෙම මට ඩිලිවර් වෙන්න තිබුනට වැඩේ වෙලා නෑ…  ඉතින් ඒක අද උදේ තමා මට ලැබුනේ.. ඒ නිසා මට ඊයේ ඔයාලාගේ කාඩ් එක දකින්න බැරි උනා.. අද උදේ තමයි දැක්කේ..

 email%5B5%5D[1]

ඉතින් මේ සටහන හරිම හදිස්සියේ දාන්නේ මගේ Greeting Card එකේ සයින් කරලා තිබුන හා ඉහත සඳහන් එකේක ක්‍රම වලින් මට සුභ පතපු හැමෝටම කරන ස්තූතියක් විදියට.. ඇත්තටම මගේ මුළු හිතම පිරිලා ගියේ මේ කාර්ඩ් එක දැක්කට පස්සේ…… ඉතින්  යාළුවනේ මගේ උපන්දිනය වෙනුවෙන් ඔයාලගේ කාලයෙන් විනාඩියක් වෙන් කරලා මට සුබ පැතුමක් එක් කරපු ආදරණීය ඔයාලා ඔක්කෝටම  බොහොම  බොහොම ස්තූතියි..

කණිශ්ක , සූ අක්කා, කණියා, රචියා, ලිෂා , ප්‍රියන්ත අයියා, පැංචි, වාසල අයියා, මලි, deeps, මරණේ , තිස්ස අයියා, පහන් , ගෝලයා හෙවත් උමේෂ් , රොයිලි අයියා, Ansh Lucky, බුද්ධික අයියා, හර්ෂන , ගයාන් කණිෂ්ක , ආගන්තුකයා, පුතා, ශාකු මල්ලි, දුකා අයියා, බින්කු මල්ලි, නිශාචරයා, පැන්ඩා , ‍ධනික , බයිස්කෝප් ටීම් එක  එක්ක ඉන්දික සර්, උපුල් සර්, නරේෂ්, ශෂී, කසුන් අයියා, අපේ නගා, කිත්සිරි අයියා, විශ්නි, ශේන් මොර්ටර්ස් සහ හැම සැරේම මේ වගේ සප්‍රයිස් එකක් දෙන මගේ ආද‍රණීය ආදරේට ආයෙමත් ස්තූතියි..  නම නොකියවුන කවුරු හරි ඉන්නවනම් මට සමාවෙන්න..

Thank-You

පැංචි මට වෙලාවට වැඩ කරන පුරුද්ද ඇති කරගන්න ලස්සනම ලස්සන පුංචි අත් ඔරලෝසුවක් තෑගි දුන්නා. ඔයාටත් බොහොම ස්තූතියි පැංචි.. ළඟදීම සර්ප්‍රයිස් එකක් බලා‍පොරොත්තු වන්න…

හදිසියේම ටයිප් කරපු නිසා වැරදි ඇති… සමාවෙන්න ඕන කස්ටියම.

September 8, 2010

wind chime

chimes_of_athena_black[1]
හිමින් සැරේ හමන හුළං පොදකටයි පුංචි ලෝහ බට කෑලි ටිකකටයි කොච්චර ලොකු මැජික් එකක් කරන්න පුළුවන්ද කියලා කවුරු හරි දන්නවද?… මං දැනං හිටියා. දැන් මං ඒ මැජික් එක අත්විඳිනවා. මේ මං මගේ කාමරේට එකතු කරගත්ත අළුත්ම ගැජට් එක.. හ්ම් එයාව හඳුන්වන්න ගැජට් කියන වචනේ කැතයි වගේ…


මට මෙයාව හොයගන්න ලොකු උවමනාවක් කාලාන්තරයක් තිස්සේ තිබුනත් මෙයාට කියන නම දන්නැති නිසා ඒ වැඩේ කල්ගයා. ඒත් හදිසියේම මායි මං වැඩ කරන තැන මගේ යාළුවෙකුයි අහම්බෙන් අපේ ඔෆිස් එක ගාවම අළුතෙන් ආරම්භ කරපු විසිතුරු බඩු වෙළඳ සැළකට ගියේ මොනා හරි මිළදී ගන්න අරමුණක් ඇතුව නෙවෙයි.. නිකන් කාලේ කන්න. එතනදි මං දැක්කා මං මෙච්චර කාලයක් හොයපු පුංචි යාළුවාව. ඉතින් දෙපාරක් හිතුවේ නෑ. මම එයාව මං සතු කරගත්තා. ඊට පස්සේ තමා දැන ගත්තේ මෙයා ‍ෆෙං ෂුයි සංකේතයක් කියලා.. ඒ ෂොප් එකේ හිටපු හාදයා අපිට උපදෙස් දුන්නා මේකෙන් වෙන සෙතේ මොකද්ද ගෙදර ඇතුලේ මොන දිශාවෙද මෙයාව එල්ලන්න ඕන ඔය වගේ කතා ගොඩාක්.. ඒවල ඇත්ත නැත්ත නම් මං දන්නෑ.. මට ඕන මෙයාව විතරයි..


ගෙදර ආපු ගමන් මං බැලුවේ මගේ පුංචි යාළුවාව තියන්න තැනක්. අන්තිමට මම තීරණය කලා මගේ කාමරේ ජනේලෙන් පිට පැත්තට මෙයාව එල්ලන්න.. දැන් එයා උදේ දවල් රෑ වෙනසක් නැතුව මගේ කාමරේ ජනේලෙට පිට පැත්තේ ඉඳන් එයාගේ ලස්සන මැජිකල් සවුන්ඩ් එකෙන් මගේ හිත නිවනවා………. !

September 6, 2010

මහ ඔලුවන්ට…!

කවදා හරි දවසක, මම එහෙම කරාම
මට මෙහෙම කරන්න බැරි වෙනවාලු..
මං රැහෙන් පිටලු, අයේ වද්ද ගන්නේ නැහැලු..
මලගමකට මඟුළකට මට කියන්නැතිලු..
ඒ ආවත් මාව ගනං ගන්නැතිලු..
අනේ මට මොකෝ.. උඹලා වගේ මහ ඔළුවෝ
මගේ ජීවිතෙන් අයින් වෙන තරමටම මම කැමතියි..
මාව වැදු අම්මගේ මරණයකටවත් මට
අතගහන්න නොදෙන කතාව තමයි මට රිද්දුවේ
තොපි කවුද බොල මට ඒ වගේ නීති දාන්න
මායි අම්මයි බැඳුනේ පෙකෙණි වැලෙන් මිස
උඹලගේ ඔය මහලොකු ජාතියෙන් නොවෙන වග
උඹල වගේ ගොන්තඩියන්ට තේරෙන්නේ නැත්තෙ මොකද
තමන්ගේ ජාතකේ කිළුට්ට වහගන්න
අනුන්ගේ ජාතකේ හොයන්න එන මහ ඔළුවෝ..
කවදා තේරෙයිද උඹලට..
අපි ඔක්කොම මනුස්ස ජාතියේ කියලා..
කවද හරි තේරෙයි හැබැයි කල් යයි..

August 16, 2010

මගේ තරඟකාරයට ආදරෙන්..!

අයියයි මායි
මේ සටහන මම මාස ගානක් තිස්සේ ලියනවා.. ලියන්න පෑන අතට ගන්න හැම මොහොතෙම මගේ සිතුවිලි හිරවෙලා විසිරිලා යනවා.. ඔහොම කල් ගිහින් ගිහන් තිබ්බ ‍මේ සටහන සම්පූර්ණ කරන්න මට උත්තේජකයක් උනේ අද දිනය..
 
අගෝස්තු 16
 
අද මට ලියන්නේ මං ඉපදෙන්න කලින්ම මගේ තරඟකාරයෙක් උන පුද්ගලයෙක් ගැන.. මට කලින් මේ ලෝකේ එළිය දකින්න පින් කරපු තරඟකාරයෙක් ගැන.. මට කලින් මගේ අම්මට “අම්මා” කියන්න පින් කරපු තරඟකාරයා ගැන.. මට කලින් මගේ දෙමව්පියන්ගේ ආදරය ලබන්න එයාලගේ හුරතලා වෙන්න තරම් වාසනාවන්ත උන මගේ තරඟකාරයා ගැන.
 
ඒ වෙන කවුද ඉතින්..මගේම ආදරණිය අයියණ්ඩි මිසක්..
 
පුංචිකාලේ අයියගෙයි මගෙයි බැඳීම කොයි වගේද කියන්න මට තියෙන්නේ අපැහැදිලි මතකයක්.. මට මතක හැටියට නම් අපි බොහොම ආදරෙන් හිටපු අයිය නගෝ ඩබලක් නම් නෙමේ.. අපි දෙන්නගේ රණ්ඩු බේරන්න එන අම්මගෙන් හැමදාම ගුටිකෑවේ අයියා.. වැරැද්ද මගේ අතේ තිබුනත්.. මට මොන්ටිසෝරියේ තිබ්බ කොන්සට් එකේදි හම්බ උන හාවගේ වෙස් මූණ ඔයා උදුරගෙන දාගනිද්දි මම හූ තියාන ඇඬුව මට මතකයි.. ඒත ඔයාට ඉස්කෝලෙන් හම්බ වෙන කිරි පැකට් එක බොන්නැතුව හැමදාම මට ගෙනත් දෙනවා.. ඔයාට ටීවි එකේ තන්ඩර් කැට් බලන්න ඕන උනහම මට ඕන වෙනවා වෙන චැනල් එකක රෑකඩ නාට්‍ය බලන්න.. ඒත් හැමදාම හවසට ඔයා මාව ළඟට අරන් ඉස්කෝලෙ පොතේ හාවයි අලියයි වඳුරයි පාලම හදපු කතාව කියලා දුන්න..
 
මට අවුරුදු 6දී තාත්තා අපිව තනිකරලා මේ ලෝකෙන් සමු ගත්තට පස්සේ ඔයාටත් මටත් නංගිටත් එක වහලක් යට ඉන්න තිබුන අවස්තාව නැති උනා..
 
මං හිතන්නේ අපේ බැඳීම දැඩි වෙන්න පටන් ගත්තේ ඒ අවාසනාවන්ත සිද්ධියෙන් පස්සෙ.. මට මතකයි තැන තැන කොටුවෙලා හිටපු අපි ඔක්කොම එකට එකතුවෙන්නේ ඉස්කෝලෙ නිවාඩු කාලෙට මහගෙදරදි..ඔක්කොම එකතු උනාම  අපි අට දෙනෙක් විතර..ඒ ආවම දවස ඉවර වෙනකල් සෙල්ලම් ගෙවල් දාගෙන සෙල්ලම් බත් උයාගෙන ගෙවපු ඒ කාලෙ තමා මගේ ජීවි‍තේ හොඳම කාලෙ.
 
නිවාඩු ඉවර වෙලා ආයේ හිටපු තැන් වලට යන්න පිටත් වෙනකොට පොඩිකමට උනත් ඔයා ඒ දුක පෙන්නුවේ නෑ.. මං තමා හොටුපෙත්ති වගේ අඬාගෙන යන්නේ. ඔන්න යන්තම් මම 5වසරේ ශිෂ්‍යත්වේ ගොඩ දාගත්තට පස්සේ තමා අපිට එකට ඉන්න වාසනාව පෑදුනේ. ඊට පස්සේ තමා අපේ යුද්දේ පටන් ගත්තේ.. පුංචි පුංචි දේවල් වලටත් මං කොච්චර නම් පැටලෙන්න ඇද්ද ඔයා එක්ක.
 
කාලේ ගෙවිල මං ළමිස්සියක් උනාම තමා ඔයාට තවත් ප්‍රශ්න පටන් ගත්තේ.. ඔයා විතරක් නම් මදැයි! ලොකු අම්මගේ පුතාලා තුන්දෙනා එකතු උනාම මට අයියලා හතර දෙනයි. ඉතින් ඔයාලගේ ඇස් වහලා මට කොල්ලෙක් දිහා බලන්නවත් බැරි උනා.. මගේ පුංචි පුංචි ප්‍රේම කතා වලට පටන් ගත්ත මුලම නැවතීමේ තිත තියන්න උනේ ඔයාලගේ මේ හමුදා බලකාය නිසා.. ඔන්න ඔයා මගේ තරහකාරයා වෙච්ච පළවෙනි තැන.. ඒත් මං පස්සේ තේරුම් ගත්තා.. ඔයාලගේ ආරක්ෂාව නිසා මට කොයි තරම් අගයක් ලැබුනද කියලා..
 
වයසෙන් මෝරද්දි තමා අපි ‍ගොඩාක්ම සහෝදර බැම්මෙන් බැඳුනේ… මං වැඩ ඇරිලා එන වෙලාවට ඔයා මගේ කම්ප්‍යුටරේ අයිති කරගෙන.. ඉතින් මං බොරු නෝක්කාඩුවක් කියාගෙන ඔයාට ලං උනාම ඔයා මාව එළවනවා “යනවා යනවා, බස් ‍‍ග‍‍ඳේ බෑ ළඟ.. නාලා එනවා” කියලා. නාලා ආවත් ඔයා නෙමේ තව පැයකට එතනින් නැඟිටින්නේ.. මහ රෑ පාන්දර කියලා  වෙනසක් නැතුව ඔයා ගේම්ස් ප්ලේ කරද්දි මං තමා ඔයාගේ තේ සැපයුම් කරු උනේ. මහ රෑ 1ටත් තේ හදාගෙන ඔයා ප්ලේ කරන ගේම් එක දිහා බලා ගෙන මමත් උන්නා.. “අයියටම හරියන නංගි” ඔයා IGI එකේ වීර සෙබලා වෙලා ඉද්දි මං ඔයාට සප් එක දෙනවා දැකලා දවසක් අම්මා එහෙම කියලා ගියා…
 
රේස් ෆිල්ම් එක ආපු කලේ ඒකෙ ඔයා ආස කරපු සින්දු වල ලිරික්ස් මං හොයාලා ගෙනත් දුන්නම ටීවි රිමෝට් එක මයික් එක කරගෙන අපි තුන්දෙනාම මහ හයියෙන් ඒ සින්දුව කිව්වා ඔයාට මතකද?
ඔය මොන ෆිට් එක තිබුනත් මගේ හිත ගිය කොල්ලෙක් ගැන ඔයත් එක්ක කතා කරන්න නම් මං බය උනා.. ඒ නිසා ඒගැන ඔයාගෙන් හංගන්න උනා මට. ඔය කාලෙදි තමා අපේ ඒ සුන්දර ජීව‍තේට සමුදෙන්න ඔයාට පිටරටකට යන්න අවස්ථාවක් ආවේ. අම්මා ළඟ නැති නිසාවෙන් ඔයාට ගෙනියන්න අවශ්‍ය කරන ගොඩාක් දේවල් පිළියෙල උනේ මගේ සහ නංගිගේ අතින්…
 
ඔයාට මතකද දන්නෑ.. ඔයා යන්න හෙටයි කියලා අපි දෙන්න ගේ ඉස්සැරහ පඩිපෙලට වෙලා අපේ අනාගතේ ගැන කතා කර කර ඉද්දි මගේ හිත ගත්ත පුද්ගලයෙක් ගැන ඔයාට කියන්න මං කීපාරක් නම් කට හැදුවද? ඒත් මට ඒතරම් හයියක් ආවේ නෑ ඒගැන ඔයාට කියන්න….
 
අන්තිමේ දී ඒ දවස උදා උනා.. ඔයා මාවයි නංගිවයි තනිකරලා නන්නාඳුනන ඈත රටකට යන්න පිටත්වෙන දවස.. කොච්චර නම් තදින් හැඟීම් හිර කරගෙන හිටියත් ඔයා යන්න හදන අන්තිම මොහොතේ මට මාව පාලනය කරගන්න බැරුව ගියා.. මං අඬාගෙන ඔයාට තුරුළු උනාම ඔයා කිව්ව වචන මට තාමත් මතකයි.. “අඬන්න එපා නංගි, ඔයාව විශ්වාස කරලා තමා මම පොඩි නංගිවත් දාලා යන්නේ, මං එනකල් ඔයා එයාව බලාගෙන ලස්සනට ඉන්න ඕන” .. ඔයාගේ ඒ වචන වල ශක්තියමට වෙන්න ඇති අද මං මෙහෙම ඉන්නේ.. ඒත් අම්මයි ඔයයි ළඟ නැති අඩුව මට වචන වලින් පහදන්න බෑ…
 
මේ ඔයා නැතුව ගෙවන දෙවනි අවුරුද්ද.. තව අවුරුද්දක් මං ඇඟිලි ගනිනවා.. අවුරුදු ගානකට පස්සේ උදාවෙන ලස්සන දවස වෙනුවෙන්.. ඔයා අම්මා මම නංගි අපි හතර දෙනාම අවුරුදු 4කට පස්සේ එක වහලක් යට මුණගැහෙන ඒ ලස්සන දවස වෙනුවෙන්..   මෙහෙම දුරට ගිහින් එකිනෙක්කෙනාගේ මුහුණු දකින්නැතුව ඔයයි අම්මයි කැප වෙන්නේ අපේ ලස්සන අනාගතය වෙනුවෙන් කියලා මං දන්නවා.. ඒ දවස වෙනකල් මං මගේ හැම පුංචි පුංචි හීනයක්ම එකතු කරලා තියාගෙන ඉන්නම්.. එතකල් මතක තියා ගන්න. ඔයා තමා මේ ලෝකේ ඉන්න හොඳම සහෝදරයා….!
 
ඔයාට සුභ උපන් දිනයක්, මගේ ආදරණිය අයියේ……..!
 

August 3, 2010

කට කහනවට……!

දිල්ෂාන් ව ඉස්සෙල්ලා බැට් කරන්න දැම්මේ අපරාදේ..
මෙහෙම කරා නම් මැච් එක දිනන්න තිබුනා......
ඔයා සයන්ස් කරේ අපරාදේ කොමස් කරා නම් ..
බෑන්ක් ජොබ් එකක් වත් හම්බෙන්න තිබුනා...
ගම්මිරිස් දාලා හදනවට වඩා මිරිස් දාලා බලන්න..
එතකොට ‍හොද්ද මීට වඩා රසට එනවා...
දැන් ඉතින් ඇඬුවා කියලා ගිය මනුස්සයා එන්නේ නෑ..
කඳුළු පිහිද ගෙන හිත හදා ගන්න බලන්න...
මේ විදිය වැරදියි.. අපේ අය මෙහෙම අටෑක් කරා නම්..
යුද්දේ මීට කලින් දිනන්න තිබුනා..
අපෝ එයා ඩෙනිම් කලිසම් ඇන්දම කැතයි...
ෂල්වාර් එකක් වත් ඇන්ද නම් හොඳට තියෙයි..

උපදෙස් දෙන්න ලේසියි.. කවද හරි තමනුත් ඒ ප්‍රශ්නෙට මුහුණ පාන කල්....

August 2, 2010

අවුරුද්දකට පස්සේ….!

බදුල්ලේ මහගෙදරින් බණ්ඩාරවෙල පුංචි ගෙදරට මාරුවෙලා මේ මාසේට අවුරුද්දක් වෙන්නත් යනවා.. කාලේ පියාඹන ඉක්මන. අපිත් දවසින් දවස වයසට යනවා. සුපුරුදු පරිදි නංගිගෙන් ලැබුන රසවත් තේ කෝප්පේ අරන් ජනේලෙන් පැනලා කකුල් දෙක ඇස්බස්ටෝස් වහලට දාලා ජනෙල් පඩිය උඩ වාඩිවෙලා මම කල්පනා කරන්න ගත්තා. තේ කෝපපය තොළ ගාන ගමන් මගේ හිතත් කාලයේ වේගයෙන්ම ආපස්සට පියෑඹුවා.

මීට අවුරුද්දකට කලින් මම රස්සාව නැති පීඩනයෙනුත් ආදරේ නිත්‍යානුකූල වෙච්ච සතුටෙනුත් මිරිකිලා හිටපු කෙල්ලක්. හැමදේම වෙන්නේ හොඳටයි කියලා හිතාගෙන බණ්ඩාරවෙලට ආපු මට උනේ ඇත්තටම හොඳක්ද? මට හිතා ගන්න බෑ. තනියෙන් ඉන්න පුළුවන්ය , ගෙදර දොරේ වගකීම් දරන්න පුළුවන්ය කියලා අම්මටත් කුෂාන් අයියටත් ලොකු ටෝක් දීලා නංගිත් එක්ක මේ ගෙදරට ආපු මට ඇත්තටම ඒ වගකීම් දරන්න පුළුවන් උනාද? ගෙදර ආපු මුල් මාස දෙකක් විතර ගෙදර අය නිතරම මෙහේ ඇවිත් ගිය නිසා මට ඒ තරම් තනි කමක් දැනුනේ නෑ. නංගිත් වැඩට යන්න ගත්තට පස්සේ මහගෙදර කට්ටිය අපේ ගෙදර යන එන එක ටික ටික නැවතුනා. නංගි බදුල්ලේ ඉඳලා එන්න ඕන නිසා එයා එද්දි කොහොමත් හවස 6.45 වත් වෙනවා. මට වැඩ ඇරෙන්නේ 5ට. ඉතින් බෑග් එකත් කර ගහගෙන ඔෆිස් එකෙන් එළියට එන මම ගෙදර යනවද වෙන කොහේ හරි යනවද කියලා දෙගිඩියාවෙන් වැනී වැනී ගෙදර යන්න පිටත් වෙනවා. ඒත් කාත් කවුරුත් නැති පාළු ගෙදරකට යනවා කියලා මතක් වෙද්දි නංගි එනකල් පාරේ ගාඩ් ගලක් උඩ වාඩි වෙලා ඉන්න හිතුන වාර අනන්තයි. අපි කොහේ හරි ගිහින් එද්දි අපි එනකල් කවුරු හරි ගෙදර බලන් ඉන්නවා කියන හැඟීම තිබුනොත් තමා ගෙදරට යන්න හරි හිතෙන්නේ. කොල්ලෙක් වගේ පාරේ රස්තියාදු ගහන්න බැරි නිසාම ගෙදරට ඇවිත් හංගලා තියෙන යතුර අරන් දොර ඇරලා ගෙට ඇතුළු වෙද්දි මට දැනෙන පාළු මුස්පේන්තු තෙත සුවඳ දැනුත් මගේ නහයට දැනෙනවා.

උදේට හදිසියේ වැඩට දුවන නිසා මුළුගේම හැඩිවෙලා. අම්මා හිටියනම් අපිට බැන බැන හරි මුළු ගේම අස්කරලා ඇති. අම්මා ගැන සුන්දර සිතුවිල්ලක් නිසාම නැගුන හිනාවක් ඇතුව මම ඇඳුම වත් මාරු නොකර ගේ අස්පස් කරන්න පටන් ගන්නවා. උදේ උයපු ඉඳුල් භාජන ටික සෝදලා රෙදි ටිකත් සෝදගෙන මාත් නාගෙන නාන කාමරෙන් එනකොටම වගේ නංගිත් මැලවෙලා ගෙට ඇතුළු වෙනවා. එයාටත් එක්ක තේ හදලා මම තේ එක අරන් ජනෙලෙන් පනිනවා වහලට. මේ ගෙදර මම ආසම කරන තැනක්. මහා ලොකු වීව් එකක් නැතත් ඉර බැහැලා යන හැටි මෙතනට ලස්සනට පේනවා.  කූඩුවට පියාඹන කපුටන්ගේ ගෝසාව මැද ඉර බැහැගෙන යනවා. මම ඉන්නේ බණ්ඩාරවෙල කියලා මතක් කරන සීතල සනීප හුළඟත් මේ වෙලාවටම මං වටේ කැරකෙන්න ගන්නවා. හේතුවක් නැතුව නැඟුන කඳුලක් කම්මුල දිගේ  ගලාගෙන ගිහින් තේ කෝප්පෙට වැටෙනවා. බැරල් එක වගේ තියෙන මගේ තේ කෝප්පේ ලුණු රස කරන්න තරම් ඒ පුංචි කඳුල හපනෙක් නෙවෙයි. ඒ වගෙමයි මගේ හිතේ නලියන දුක පාළුව දිය කරන්නත් ඒ පුංචි කඳුලට බැරි උනා. ඇයි මේ හැමවෙලේම කඳුළු?

සමහර දවස් වලට ගෙදරට හොරුපනී කියලා බයේ මම රෑ තිස්සේ ඇහැරිලා ඉඳලා තියෙනවා. මහ රෑ දෙකට නැඟිටලා එක එක සද්ද වලට කන් දි ගෙන ඉඳලා තියෙනවා. කකුල් දෙක වෙව්ලන තරම් බය හිතුන වෙලාවට මම නංගිවත් ඇහැරවනවා. ඒ කෙල්ල මං තරම් බය ගුල්ලෙක් නෙමේ. මගේ කරදරේ ඉවසන්නම බැරි තැන නංගි දවසක් මට කිව්වා “ඔයා නිදා ගන්න මම ඇහැරිලා ඉන්නම්” කියලා. දැන්නම් මතක් වෙද්දිත් හිනා.  ඉතින් ඔය බයට නැවතීමේ තිත තියන්න මම අපේ අයියා කෙනෙක්ට නොවඳිනා වැඳුම් වැඳලා අපේ ගෙදර නවතින්න කැමති කර ගත්තා. මම සැනසීමේ නිදා ගත්ත නම් ඒ මේ අයියා ආවට පස්සේ.  එදා ඉඳලා අද වෙන කලුත් ඒ අයියා මායි නංගියි එක්ක මේ ගෙදර ඉන්නවා. එයා ආපු එක මට ලොකු හයියක් උනා. නැත්නම් බඩු ගේන්න කඩේ යන්න, පොලේ යන්න, බැංකු යන්න වගේ හැම වැඩක්ම මම තනියෙන් කලේ. දැන් ඒවා වලින් මම නිදහස්. ඇත්තටම නිදහස් ද? මම මගෙන්ම ඇහුවා.

තනියම ගෙදර වියදම දරන්න පුළුවන් කියලා අම්මාට චැලේන්ජ් කරපු මට ආයෙත් අම්මාගේ පිහිට පතන්න උනා. දවසින් දවස ඉහළ නඟින බඩු මිල මට ජිවිතේම එපා කරවනවා. මාසේ අන්තිම වෙද්දි පොකට් හිස් වෙද්දි බෑන්ක් බැලන්ස් හිඳිලා යද්දි රස්සාවත් දමලා ගහලා ආයෙත් මහගෙදරට දුවලා යන්න හිතෙනවා. “අනේ අම්මේ, මම පරාදයි! මට නම් තවත් බෑ!” කියලා අඬාගෙන අම්මා ගාවට දුවන්න හිතෙනවා.

ඒත් මේ පුංචි ගෙදරට මම ආදරෙයි. බඩගිනි උනාම මැගී එකක් හදාගෙන කන්න.. හයියෙන් සින්දු දාලා නාන කාමරේ ලිස්සල වැටෙනකල් නටන්න, මහ රෑ දෙක තුන වෙනකල් ඇහැරගෙන ෆිල්ම් බලන්න, පස්සට ඉර එළිය වැටෙන කල් නිදා ගන්න, ඔහේ ෂෝටයි බාටයි දාගෙන ගමයා වගේ හවසට ටවුමේ රවුමක් යන්න , මගේ ආදරේ එක්ක ඇති වෙන කල් බයික් එකේ රවුම් ගහන්න මේ තරම් නිදහසක් මට ලැබුනේ මේ පුංචි ගෙදරට ආවට පස්සේ.. මොන කට්ට කාගෙන හරි මම මේ ගෙදර ඉන්නේ ලේසියෙන් කෙල්ලෙකුට නොලැබෙන සුන්දර නිදහසක් මට ලැබිලා තියෙන නිසා..

දැන් අවුරුද්දකුත් ගත වෙලා..එදා තත්වය සම්පූර්ණයෙන් වෙනස්. දැන් නංගි තමයි ගෙදරට අධිපති. උයන පිහන වැඩ ගේ අස්පස් කරන වැඩ ඔක්කොම චූටි මැඩම්ගෙන් තමයි සිද්ද වෙන්නේ. කොටින්ම අයියා දැන් ගෙදරට ගේන්න අවශ්‍ය බඩු ගැන අහන්නෙත් නංගිගෙන්. මට දැන් මගේ ඇඳුම් ටික හෝදගන්නවා ඇරෙන්න වෙන කිසිම වැඩක් නැති තරම්..!

මගේ තේ කෝප්පෙත් ඉවර වෙලා.. පපුව පුරවලා ලොකු හුස්මක් අරගෙන හිතේ තිබ්බ දුක ඒ හුස්මට දිය කරලා මම ඒ හුස්ම පිට කරා. දැන් හිත සැහැල්ලුයි. දුවල ගිහින් බ්ලොග් එකක් ලියන්න ඕන. හිත කියනවා. අම්මා මට දීපු “Quotes and Sayings” පොතක මේ වගේ දෙයක් තිබුනා මට මතකයි.

“When life gives you a hundred reasons to cry, show life that you have a thousand reasons to smile.”

“ ජිවිතය ඔබට හඬන්නට හේතු සියයක් ගෙන දෙන විට, ඔබට සිනාසීමට හේතු දහසක්  ඇති බව ඔබ ජිවිතයට පෙන්වන්න”

ඕං බලාපන් ජීවිතය, මට හිනා වෙන්න කරුණු දාහක් නැතත් දහයක් වත් තියෙනවා.. ඒ නිසාම මම ජීවත් වෙනවා…

July 31, 2010

තේමාවක් නැත -3

Waiting

………සිහිනයක් සිහිනයක් පාසා………

රැස් කර තබන්නෙමි, සිතෙහි කොනක

බලාපොරොත්තුව නම් රැකවල් යොදා

………ගිනි ගෙන දැවෙනා ජීවයට………

සෙනෙහසේ පිනි දියර ඉසින්නට

………සැබෑවට ඔබ එනතුරා ………

‍‍‍‍‍(--just a thought--)

July 28, 2010

තේමාවක් නැත -2

කඩදාසිමල

වසන්ත නිම්නයේ
හුදකලාව පිපුණ
වියළි කඩදාසි මල
අහඹුව ඇද හැළුණු
පිනි වර්ෂාවට
තෙත බරිත වී
නව ජීවයක් ලැබ
මන්ද මාරුතයට තම
සුවඳ විඳගන්නට ඉඩදී
යළිත් එයිද ඒ
සීතල පිනි වැස්ස
සිතා සිතා බිමට නැඹුරුවූ
‍හිසෙන්, විකසිතව පොපියයි
ඔබ නම් ඒ පිනි වැස්ස
ගත දැවටී ජීවය ලබන්නට
බලා සිටින කඩදාසි මල
වෙන්නෙමී මම……..

July 9, 2010

නවත්ත ගනින් ඔය චුරුචුරුව…!

Tear in eye
නෙත් කෙවෙනි අග දිලෙන
පොඩි කඳුළු බින්දුවේ......
වැටෙන්නට නම් එපා....
තව ටිකක් ඉවසපන්......
ඉස්සර තරම් නුඹව දැන් ඔහුට අගේ නෑ........
නූඹ කොතෙක් ගැලූවත් දැන් ඔහුට වගක් නෑ..
"නවත්තා ගනින් දැන්ම උඹේ ඔය චුරු චුරුව"
කියන්නට ඉඩ නොදී, අනේ නුඹ සිඳීයන්....!

June 27, 2010

වසීහරා - Vaseegara

මියුසික් කියන්නේ හරි පුදුම දෙයක් නේද? සතුටින් හිටියත්, දුකින් හිටියත්, විරහ වේදනාවෙන් හිටියත් ,තනි කමෙන් හිටියත්, පාළුවෙන් හිටියත් ,කට්ටියක් එක්ක සෙට් වෙලා හිටියත් මොන මූඩ් එකේ හිටියත් සංගීතය ඒ මොහොතේ අපිත් එක්ක අනිවාර්යයෙන් ජීවත් වෙන කෙනෙක්....! සංගීතයෙන් තොර ජීවිතයක් කොයි තරම් නීරස ඇත්ද? මං හිතන්නේ සංගීතයට අපේ තියන සංවේදී කම අපට එනවා ඇත්තේ අම්මගේ බඩේ ඉද්දිම වෙන්න ඇති...! හිසට උඩින ඇහුන අම්මගේ හද ගැස්සම අපිට නැළවිලි ගීයක් වෙන්න ඇති. සුපිරි ගායිකාවත් නොවුනත් අම්මගේ මුදු නැලවිලි ගීයට පොඩි උන් ලෝකේ අමතක වෙලා නිදා ගන්නේ ඒ නිසා වෙන්න ඇති...

අද මට බෙදාගන්න හිතුනේ මගේ ආසම සින්දු කලෙක්ෂන් එකේ හැමදාම ඉහළින් රැඳිලා තිබුන සින්දුවක් ගැන..මේක දෙමළ සින්දුවක් ..මිට අවුරුදු නවයකට කලින් රිලීස් වෙච්ච දෙමළ ‍ෆිල්ම් එකක සින්දුවක්...ෆිලම් එක මින්නලේ..රිලීස් උනේ 2001 අවුරුද්දේ....! මාධවන් සහ රීමා සෙන් තමයි මේකේ ප්‍රධාන චරිත වලට ඉන්නේ..! මාධවන් කිව්වම දන්නව ඇති නේ ගොඩක් අය.. අදටත් දෙමළ සිනමාවේ මගේ ප්‍රියතම නළුවා...රීමා සෙන් ගැන කිව්වොත් එයත් මගේ ප්‍රියතම නිළියක් උනේ මේ බයිස්කෝප් එක බැලුවට පස්සේ..! ඉතිං මෙ දෙන්න ඉන්න ලස්සන සින්දුවක් ගැන තමා මං කියන්න යන්නේ.. සින්දුව සිංහලට පරිවර්තනය කරන්න උත්සහයක් දුන්නට වචන භාවිතයේ අපහසුතාවයක් නිසා ඒ වැඩේ අත හැරියා.. ඒත් සින්දුවේ රස වින්ඳනයට සින්දුවේ අර්ථයත් බලපාන නිසා එක්තරා වෙබ් අඩවියක ‍තිබුන මේ සින්දුවේ ඉංග්‍රීසි පරිවර්ථනය මේ එක්කම දානව..

සින්දුවෙන් කියවෙන්නේ ආදරවන්තියක් තමන්ගේ ආදරවන්තයා ගැන හිතන හැටි.. මේ සින්දුව ගායනා කරන්නේ බොම්බේ ජයශ්‍රී.. උගුරෙන් වගේ කියන අමුතු කටහඩ නිසාම මේ සින්දුවට අමුතු ලස්සනක් එකතු වෙලා තියෙනවා.. ඉතිං  බොම්බේ ජයශ්‍රීගේ මැජිකල් වොයිස් එකයි හැරිස් ජයරාජ්ගේ මැජිකල් මියුසික් එකයි එක්තු වෙලා හැදිච්ච මේ මැජිකල් සින්දුව අහන්න කියලා මං ඔයාලට ආරාධනා කරනවා...  ඇස් දෙක වහගෙන අහන්න  ඒ මොහොතට ඔයාලව වෙනමම ලෝකෙකට යනවා වගේ දැනේවි..!

සින්දුවේ mp3 එක ගන්න මෙතැනින්

මෙන්න English lyric එක....

(Instrumental)

CHORUS:
It wafts through my heart,
It is enough if I sleep on your lap,
And as I sleep peacefully, my desires,
For so many generations will be quenched,

CHORUS

CHORUS 2:
What I love and what I breathe,
Is your approval,
I am suffering, I am suffering,
I am happy in your memory,

(Instrumental)

When it rains so hard, we will get soaked in it,
And when we get sick from it,
We will sleep together in the covers,
Telling sweet lies, you will conquer me,
And even though I know they're lies,
That is all my heart expects from you,
Everyday, I want you in the house,
Never leaving me to step outside,
And, in play, sometimes,
I want to be draped in your clothes,

CHORUS
(Instrumental)

Quenched, quenched,
(Female Vocalizing)
(Instrumental)

Everyday after you've bathed,
When you find me and wipe your hair,
With the end of my sari, that is poetry,
When you sneak up like a burglar,
And suddenly come up behind me,
And embrace me, that is poetry,
If anyone asks me the time,
I don't want to be able to tell them,
For the span of love,
The time of clocks do not apply,

CHORUS
CHORUS 2
(Instrumental)

June 12, 2010

යාර හයක ආශ්චර්යය

saree2මේ බ්ලොග් සටහන ලියන්න හිතුනේ මම වැඩට යන්න සාරිය අඳින මොහොතේ.... අල්මාරියෙන් මම ගත්තේ යාර හයක් දිග, මල් මොස්තරයක් ප්‍රින්ට් කරපු නිල් පාට සිල්ක් රෙද්දක්. විනාඩි දෙක තුනක පියවර කිහිපයකට පස්සේ ඒ යාර හයේ අජීවි වස්තුව මගේ ඇඟ වටේ ලස්සනට එතිලා හිටපු අපූරුව මම කණ්නාඩියෙන් රස වින්දා.........
මං සාරි අඳින හැම මොහොතකම මට මතක් වෙන්නේ මගේ යාළුවෙක්ව. එයා නිලූ.
නිලූ උසයි... තලෙලුයි... කොණ්ඩේ දිගයි.... එයා සාරි ඇඳලා එන දවසට මට හිතෙන්නෙම සාරිය එයාටම නිර්මාණය කරපු ඇඳුමක් කියලා. ඒ තරමටම සාරිය නිලූට ලස්සනයි....(ඒ දවස් වලට අපේ ඔෆිස් එකේ කොල්ලන්ටත් හුස්ම ගන්න අමතක වෙලයි ඉන්නේ) සාරිය ඒ තරම් ලස්සනට පිහිටන ගෑණු ළමයෙක් මම ඊට කලින් දැකලා තිබුනේ නෑ. (හැබැයි මම කවදාවත් ඒ ගැන එයාට කියලා නෑ! දන්නවනේ ඉතිං ගැහැණු ගති....) 
ඉතිං මමත් සාරියට ගොඩාක් ඇලුම් කරන්න ගත්තේ ඊට පස්සේ.... නිලූ අඳින හැම සාරියකටම ඒ සාරියේ පාටින් පුංචි පුංචි සුකුරුත්තං ආ‌භරණ ටිකක් පළඳිනවා. ඒ හැම දෙයකින්ම එයාගේ ලස්සන තවත් වැඩි උනා මිසක් අඩු උනේ නම් නැහැ...
ඒ සාරිය ගැන මගේ මතකයන් එක්ක ඉන්න එක චරිතයක්.. අනික් චරිතේ තමා චබී අක්කා.. මගේ ලොකු අම්මගේ දුව. එයාට බබෙක් හම්බ වෙන්න අපේ ගෙදර (මහගෙදර) ඇවිල්ලා හිටපු කාලේ තමා මම මගේ පළවෙනිම රස්සාවට යන්න පටන් ගත්තේ.. ඒ දවස් වල මම සාරි අඳින්න දන්නේ නැහැ....ඉතිං චබී අක්ක උදේම නැඟිටලා ලොකු බඩත් උස්ස ගෙන අමාරුවෙන් නැමි නැමී සාරි අන්දපු හැටි මට තාම මතකයි... එයාට පින් සිද්ධ වෙන්න දැන් නම් මට විනාඩි 10න් සාරිය ඇඳ ගන්න පුළුවන්.....
ඉන වටේ දෙපාරක් එතිලා රුළි වෙලා..ආයෙත් ඉන වටේ රවුමක් ගිහින් පපුව හරහා  උරහිසෙන් පහළට වැටිලා ඉන්න මේ අජීවි වස්තුව නිසා කොහේදෝ හැංගිලා හිටපු ගැහැණු කමක සංවරයක්, ලාලිත්‍යක් මගේ ඇඟේ දැවටිලා තියෙන හැටි මම තව ටිකක් වෙලා බලං උන්නා....
කාගේ නිර්මාණයක්දෝ මංදා...... මගේ ප්‍රියතම ඇඳුම් ලැයිස්තුවේ හැමදා උඩින්ම ඉන්නේ මේ යාර හයේ ආශ්චර්ය නොහොත් සාරිය........................!

June 9, 2010

තේමාවක් නැත

නුඹේ දෙඅත් අතර සිරව මගේ බඳ රිදුනදෙන්
උණුහුම් සුසුම් වැදී කන් පෙති හිරිවැටුනදෙන්
නුඹේ දෑස් නොදකින්න මගේ නෙත් වැසුනදෙන්
මේ සොඳුරු නිමේශය කෙළවරක් නොවුනදෙන්

May 20, 2010

මියැදෙන සිතුවිලි

බ්ලොග්, බ්ලොග්, බ්ලොග් බ්ලොග් ලියන්න පටන් ගත්ත කාලේ පිස්සුවෙන් වගේ  බ්ලොග් ලිව්වා. පිස්සුවෙන් වගේ  බ්ලොග් කියෙව්වා . ඒත් දැන් මොකද වෙලා තියෙන්නේ. මම හැමදාම ලැබෙන විනාඩි දෙක තුනක විවේකයේදී මගේ බ්ලොග් අඩවි දෙකට ගිහින් හූල්ලනවා. කමෙන්ට් බලලි දුක් වෙනවා. මට මොකද වෙලා තියෙන්නේ හිතා ගන්න බෑ. ඉස්සර වගේම සිතුවිලි නිම්නයේ සිතුවිලි ඟග ගලනවා තාමත්. ඒත් එදා තරම් ඒ සිතුවිලි ලස්සන නැහැ. හැඩ වැඩ නෑ. පාටක් නෑ. ඒ හින්දා අනිත් අයත් එක්ක බෙදා ගන්න තරම් ඒ සිතුවිලි  සුන්දර නෑ. මගේ සිතුවිලි  එක තැන පල් වෙලා මියැදෙනවා වගේ දැනෙනවා.