November 30, 2009

Movie Downloadings Prohibited

අනේ මට උන වැඩක්. මම කොරියන් ෆිල්ම්ස් වගයක් ඩවුන් වෙන්න දාලා තිබුනා. මේ තියෙන්නේ ඒවා සහ ඩවුන් වෙච්ච ප්‍රමාණය.

01)Love me not - 75%
02)My Girl and I - 33.2%
03)Now and Forever - 63.9%
04)Winds Truck - 2.4%
05)Chines Eye - 21.2% - මේක කොරියන් නෙමේ.

මේකෙන් පළවෙනි එකට දැන් සීඩ්ස්ලා ඇත්තෙම නෑ,අනිත් ඒවාත් ඉඳලා හිටලා තමා සීඩ්ස් එන්නේ. කවදා හරි කවුරු හරි සීඩ් කරයි කියලා බලන් ඉන්න කොටම අපේ අලුත් ආයතනයේ IT Policies නිකුත් උනා. අලුත් නීතියට අනුව ෆිල්ම්ස් ඩවුන් කිරීම තහනම්. ඉහි...! ඉහි! මටමයි වෙන්නේ.

කාට හරි මේකට විසඳුමක් දෙන්න බැරිද?

November 7, 2009

The Classic

පුංචි කාලේ ඉඳලම මම ෆිල්ම් බලන්න ආසයි.ඒත්පොඩි කාලෙ හින්දි ‍ෆිල්ම් එකක් වත් බලන්න දුන්නේ නැහැ අපේ ගෙදර අය.ඉතිං කලාතුරකින හරි ෆිල්ම් එකක් බලන්න හම්බ උනොත් ‍කට ඇරගෙන බලන් ඉන්නවා.ඒත් කාලයත් එක්කම නළුවයි,නිළියයි,දුෂ්ඨයයි ඉවරයක් නැති ගහ ගැනීමුයි,සින්දුයි අනං මනං පිරිච්ච පිස්සු විකාර වැඩි වෙච්ච නිසාම හින්දි, ටැමිල් ෆිල්ම්ස් එපා වෙලා ගියා.කලින් තරම් උවමනාවක් ආසවක් නැති උනත් ඉදල හිටලා තමයි දැන් ඒ වගේ ෆිල්ම් එකක් බැලෙන්නේ.ඒ ඇරෙන්න ආසාවෙන් බලන්නෙ කාටුන්, ඇනිමේෂන් සහ ලස්සන ආදර කතා තියෙන ෆිල්ම්ස් විතරයි.ඉතිං ඔහොම ඉද්දි අපේ කුෂාන් අයියණ්ඩි මට කොරියන් ෆිල්ම් දෙක තුනක් දුන්නා බලන්න.එහොම එකක් දෙකක් බලා ගෙන යන කොට මට තේරුනා හින්දි,ටැමිල් ඉංග්‍රිෂ් ෆිලම් වලට වඩා මේවා කොයි තරම් ලස්සනද කියලා.දැන් මම කොරියන් ෆිල්ම් වලට ඇබ්බැහි වෙලා ඉන්නේ.ඒ ෆිල්ම් දෙක තුනක් තියේ නම් දවසම උනත් නොකා නොබී බලන් ඉන් පුළුවන්.


මේ චිත්‍රපට වල මම දකින විශේෂත්වයන් කිහිපයක් තියෙනවා.


01 - හරිම තාත්විකයි. ගොඩක් වෙලාවට තියෙන්නේ ඇත්ත ජීවිතේදි වෙන, වෙන්න පුළුවන් දේවල්. ඒ නිසාම කතාව හිතට වදිනවා වැඩියි. සුරංගනා කතාත් නැතුවම නෙමෙයි. හැබැයි මම බලපු ගොඩක් ඒවල තියෙන්නෙ අර කලින් කිව්වා වගේ බොහොම සරල, ඇත්ත ජීවිතේදි වෙන සිදුවීම්.


02- ආදරට ගැන උපරිමයෙන් කියනවා. හින්දි ෆිල්ම් වල වගේ මල් ගස් අස්සේ නට නටා බොළඳ විදියට ආදරේ ගැන කියන්න යන්නේ නැහැ. බලන තනිකඩයෙකුට උනත් කාටහරි ආදර කරන්න හිතන විදියට බොහොම සුන්දරව ආදරේ ගැන කියලා දෙනවා.


03 - වැඩිහිටියන්ට පමණයි දර්ශන අඩුයි. තිබුනත් ඔලුව කුරුවල් කරන අප්පිරිය හිතෙන විදියට නැතුව රස විඳින්න පුළුවන් විදියටයි තියෙන්නේ. ඔයිට හාත්පසින්ම විරුද්ධ ජාතියේ ඒවත් ඕන තරම් ඇති. ඒත් මම බලපු ඒවල නම් ඒ වගේ දර්ශන බොහොම අඩුයි සහ නැතිම තරම්. ඒ නිසා බය නැතුව පවුලේ අයත් එක්ක වාඩිවෙලා බලන්න පුළුවන්.


තවත් නොතේරෙන මේකයි කියලා කියන්න බැරි ගොඩක් හේතු නිසා මම මේ ෆිල්ම්ස් වලට හරිම ආසයි. මේ කියන්න යන්නෙත් අර ඉහත කියපු ලක්ෂන උපරිමයෙන්ම තියෙන හරිම ලස්සන ෆිල්ම් එකක් ගැන. ෆිල්ම් එකේ නම The Classic. මම මේ වෙන කොටත් දෙතුන් පාරක්ම බලලයි තිනයන්නේ.මම මේ ෆිල්ම් එකට කොයි තරම් ආසද කියනවා නම් ඒකේ OST එකත් බාගෙන ෆෝන් එකට දාගෙන හැම වෙලේම අහගෙනයි ඉන්නේ. ඒ ෆිල්ම් ඒකෙ තියෙන ලස්සන නිසාම ඔයාලටත් මේ ගැන කියන්න හිතුනා.
මට ‍පුළුවන් විදියට විස්තර කරොත් කතාවේ සාරාංශය මේකයි. මෙතන ආදර කතා දෙකක් තියෙනවා. එකිනෙකාට ගොඩක් ආදරය කරන දෙන්නෙකුට යම් හේතූන් නිසා එක් වෙන්න බැරි වෙනවා. ඒත් ඔවුන්ගේ වෙන් වීමම අනික් ආදරවන්තයන් දෙදෙනාගේ එක්වීමට හේතුවක් වෙනවා. මම මීට වඩා විස්තර කරන්න යන්නේ නැහැ.ඔයාලම බලල හිතා ගන්න කොයි තරම් නම් ලස්සන කතාවක්ද කියලා. බලලා ඔයාලගේ අදහස් දක්වන්න.
මෙතැනින් තවත් විස්තර දැන ගන්න.
බාගන්නව නම්
OST එක බාගන්න

November 4, 2009

පසු ගිය කාලේ


හැමදේම වෙන්නේ හොඳටයි කියලා ඔබ විශ්වාස කරනවද? මම නම් විශ්වාස කරනවා. මම එහෙම හිතන්න පුරුදු උනේ මගේ ජීවිතේ පසුගිය කාලය දිහා බලලා. එක සිදුවීමක් ඔස්සේ අපිට කොයි තරම් දේවල් අහිමි වෙනවද, ඒ වෙලාවට අපි කොයි තරම් නම් අසරණ වෙනවද කියලා මම ඉගෙන ගත්තෙත් ඒ කාලේ.

මේ අවුරුද්ද ආරම්භයම ඒ තරම් සුභ නැති බව මට තේරුනේ රුකියාවේ අවිනිශ්චිත බවක් පෙනෙන්න තිබුන නිසා.ඉන් පස්සේ අනුමාන කරා වගේම රස්සාවත් නැවතුනා.මනුස්‍සයෙකුට මොනාහරි දෙයක අගය තේරෙන්නෙ ඒ දේ අහිමි උනාමනේ. ඒ වගෙම එතෙක් කල් නොතේරුන රස්සාවේ අගෙත් මට තේරුනේ ඒ වෙලාවේ.රස්සාව එක්කම බැඳිලා තිබුන මගේ තව තවත් පුංචි පුංචි පුරුදු ඇණ හිටින්න ගත්තා.මාසෙකට සැරයක් පොතක් ගන්න පුරුද්ද, නිමක් නැති සාප්පු සවාරිම, හැමදාම දකින්න ආස කරපු මගේ සමීපතයන් කොටින්ම මගේ මේ බ්ලොග් ලිවිල්ල පවා මට නැති උනා.

තටු ගලවලා දාපු කුරුල්ලෙක් වගේ ඔහේ ගෙදරට වෙලා හිටපු කාලෙක තමා මාව ගලවාගන්න ආපු දේවදූතියක් වගේ මගේ ආදරණීය අම්මා අවුරුදු දෙකකට පස්සේ මැදපෙරදිග ඉඳලා ලංකාවට ආවේ.කලින් වතාවේ අම්මා ආපු දවස් වල මම උදේම රස්සාවට ගිහින් රෑ වෙලා ගෙදර එන හින්දා මට අම්මත් එක්ක ගත කරන්න උනේ බොහොම ටික කාලයයි.ඒත් මේ සැරේ මාස දෙකක් පුරාවට අම්මත් එක්කම කාලේ ගෙවන්න මට පුළුවන් උනා.නිවී හැනහිල්ලේ අම්මටයි මටයි අදහස් හුවමාරු ගන්න පුළුවන් උන හින්දම කරුණු පහදලා දීලා මගේ අනාගතේ හදා ගන්න අම්මගේ ආශිර්වාදය ලබා ගන්නත් පුළුවන් උනා.

ඔය අතරෙදි තමයි මම ඉල්ලුම් කරපු තනතුරකට සම්මුඛ පරීක්ෂණයකට කැඳවීම් ලැබුනේ.ඒකටත් සහභාගී වෙලා මාසයක් වගේ කාලෙකින්,එතෙක් මම ගෙවපු ඒ උදාසීන ජීවිතයට නැවතීමේ තිත තියලා මට පත්වීමේ ලිපිය ලැබුනේ බණ්ඩාරවෙලට. හැමෝටම වගේ මටත් මුලදි අනේ අපොයි කියලා කියවුනා, මට හුරු පුරුදු බදුල්ල දාලා, හදිස්සියකට නෑයෙක්වත් ළඟ නැති පැත්තකට මට යන්න වෙන එකට.ඒත් පස්සේ කල්පනා කරලා බලද්දි කලින් නොපෙනුන කාරණා ටිකක් මට පෙනෙන්නට පටන් ගත්තා.මේ මට හැමදේම අළුතින් පටන් ගත්න ජීවිතය විසින්ම දුන්න තවත් අවස්ථාවක් වෙන්න බැරිද? මම හිතුනෙ එහෙමයි.

ඔන්න ඉතිං ඔය සිතිවිල්ල ඔස්සේ,හැමෝගෙම උදව් ඇතුව මගේ පඩි පැකට් එකට හරියන විදියේ පුංචි ගේ පොඩ්ඩකුත් හොයාගෙන මම සුන්දර ණ්ඩාරවෙල නගරයට සංක්‍රමණය උනා. ඉතිං මේ තමයි මගේ කතාව. මේත් සාරාංශය විතරයි.

හොඳට හිතලා බලද්දි නැති උනාට වඩා ගොඩක් දේවල් මට දැන් හම්බ වෙලා තියෙනවා.මේකට වෙන්න ඇති ජීවිතේ කියන්නේ. "ජීවිතේ සුන්දරද මෙතරම්" කියලා කියන එක්කෙනාව හොයාගෙන ගිහින් හොම්බට දෙකක් අනින්න හිතෙන්නෙත් , වෙලාවකට එයාව හොයාගෙන ගිහින් කටේ පැණි මුලක් හලලා එන්න හිතෙන්නෙත් මේ නිසා වෙන්න ඇති.

Belive it or not! හැමදේම වෙන්නේ හොඳටයි.

July 12, 2009

කියන්නට වචන නැති මොහොතක්

මේ ලෝකේ ඉන්න වාසනාවන්තම කෙල්ල මම වෙන්න ඇති......!!!
මට ඊට වඩා කියන්න වචන නැහැ.

April 10, 2009

දැන් නිවාඩු කාලේ හින්දා නෑ කාර්යාලේ!!

දැන් නිවාඩු කාලේ හින්දා නෑ කාර්යාලේ!! හායි හායි ආාාපි ඔන්න දොයියන කාලේ..!
අදින් පස්සේ සති දෙකක කාලයක දිර්ඝ නිවාඩුවක් ඇරඹෙනවා. බ්ලොග් ලිවීමත් ඇණ හිටින්නයි යන්නේ. සති දෙකක් ගෙදර ඉඳන් මොනවා කරන්නද?හිතා ගන්න බැරුවයි ඉන්නේ. මුළු ටවුමම එකම හිස් ගොඩක්. කොච්චර කොහොම කිව්වත් මිනිස්සු අවුරුදු කෙරිල්ල නම් නවත්තන්නේ නැහැ. පුංචි කාලේ නම් අවුරුදු කියන වචනේ අහන්නත් ආසයි. අළුත් ඇදුම් අඳින්න හම්බෙන නිසා. ඒත් දැන් නම් මම ඒ පුරුද්ද ගොඩක් දුරට අතෑරලයි ඉන්නේ. ඒ හින්දා මට හැමදාම අවුරුදු වගේ තමා.
ඉතිං ලබන්නාවු සිංහල අලුත් අවුරුද්ද හැමෝටම කිරියෙන් පැණියෙන් කෙසේ වෙතත් සාමයෙන් සපිරුණ සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

April 5, 2009

පාළු හිතක් කී කවියක්

පාර අයිනෙ උසට වැවුන ගහේ පිපුණ‍ රෝස මලේ
මට වගේම නුඹටත් සීතල දැනුනද මහ වැස්සේ
නුඹත් තෙමෙන බව නොදැනම නුඹෙ පාමුල වූ සෙවනේ
පුංචි කුරුල්ලෙක් ළගිනවා බොහෝ වෙලාවක් තිස්සේ

එහා දොරෙන් හොරෙන් වගේ පොඩිත්තියක් එබී බලා
තරු ඇස් විහිදුවා මහට ඉගි පානව සිනා සලා
පොඩිත්තියේ සිනාසුනත් නුඹ මා දෙස හොරෙන් බලා
සතුටක් නැහැ සිනා සෙන්න හිතම මගේ පාළු වෙලා

April 4, 2009

සෙනෙහසට උපන් සිතුවිලි


අදින් වසරකට පෙරාතුරව අද වැනිම දවසක දහසක් බලාපොරොත්තු හිත එක්තැන් කරගෙන ඔබ මගේ ජීවිතයට උදා වන අයුරු මම අපමණ සතුටින් බලා සිටියෙමී. ඉර හඳ තරු නම් සදාතනික වස්තූන් දිවුරා ඔබ මට ආදරය කරන බවට පොරොන්දු දුන්නා මට මතකය.වසර විසි ගණනක් පුරාවට මාගේ දෙමව්පියන්ට අයිති වී තිබු මගේ මුළු දිවියම එක නිමේශයකදී නුඹේ වූවා නොවෙද? මගේ වර්ථමානයත් මගේ අනාගතයත් ඔබේ දෑස තුළින් දකින්නට මම පුරුදු වූයේ එදා සිට නොවෙද?

ගතවු මෙම කෙටි කාලය තුලදි සෙනෙහස කොයි තරම් නම් සුන්දර දෙයක් දැයි මම දස දහස් වාරයක් මෙනෙහි කළෙමි. ඔබත් මමත් යනු වෙනස් ශරීරයන් දෙකක් තුළ බහාලන ලද එකම ආත්මයක් සේ සිතන්නට මම පුරුදු උනෙමි. ගසට පොත්තක් සේ එකට බද්ද වී ඔබේ සියළු දුක සැප හැඟීම් දැනීම් බෙදා ගන්නට මම පුරුදු උනෙමි. එතුවක් කල් කොහේදෝ සැගව මගේ යෞවනය ඔබේ සෙනෙහසේ ස්පර්ශයෙන් උතුරා ගලා ගිය අයුරු මට දැනුදු සිහියට නැගේ.

මගේ දිවියට වසන්තය ගෙනා හිරු කුමරුණි. උපදින මතු ආත්මයන් පුරාවට ඔබ මට හමුවේවායි මම පතන්නේ නැත. මා මිනිස් දුවක්ව උපන් මේ ආත්මයේදී පමණක් එකම එක වතාවක් විතරක් ඔබ මගේම වන්න. ඔබව හිමි වු ඒ උද්දාමයෙන් පමණක් මට තවත් ආත්ම ගණනාවක් ජීවත් විය හැක.ගතවු මේ සොඳුරු වර්ෂය සේම මතු උදාවන සියලු දිනයන් අපගේම සෙනෙහසින් සුවඳවත් වේවා.

April 3, 2009

ආදරයට අරුතක්

එක්තරා කතාන්තරයක අහිංසක කුමරියකුත් මහා රාජධානියක් පාලනය කරන කුමාරයෙකුත් ආදරයෙන් බැඳිලා හිටියා.ඔවුන් එකිනෙකාට දැඩිව ආදරය කලත් පෞද්ගලික හා දේශපාලනමය හේතූන් මත ඔවුන් දෙදෙනා හොඳ අවබෝධයෙන් වෙන්ව යනවා.එහෙත් ඔවුන් එකිනෙකා කෙරෙහි දක්වන ආදරය අඩු වන්නේ නැහැ.මේ අතර ඔවුන් දෙදෙනාගේම ‍දේශපාලන හා ව්‍යාපාරික සතුරෙකු වන තවත් නපුරු රැජිණකගේ රාජධානියකට පහර දෙන්න මේ කුමාරයා සැළසුම් කරනවා.මෙම පුවත කන වැකුණ සැනින් මේ නපුරු රැජිණ අර අහිංසක කුමරියව තමන්ගේ සිර අඩස්සියට ගන්නවා.ඉන්පසු ඇය තම රාජධානියට පහර දීම නැවැත්තුවහොත් කුමරිය නිදහස් කරන බවටත් එසේ නොකළ හොත් කුමරිය මරා දමන බවටත් කුමාරයාට තර්ජනය කරනවා.එහෙත්කුමාරයා රැජිණගේ තර්ජනය නොසළකා හරින්නේ තමන් දැඩිව ආදරය කල කුමරියගේ ජීවිතය පිළිබඳව කිසිම තැකීමක් නොකරමින්.

රැජිණ කුමරිය තමන් අභියසට කැඳවාගෙන "ඔබේ අගේ ඇති කුමාරයා ඔබේ ජීවිතය පිළිබඳවත් නොසළකා ඔහුගේ අරමුණ ඉෂ්ඨ කරගැනීමට යනවා,ඔබට මෙය දැනෙන්නේ කෙසේද?" යැයි උපහාසයෙන් කුමරියට පවසනවා.එහෙත් අසරණ කුමරිය එකම කඳුළක් වත් නොහෙලා නපුරු රැජිණට මෙසේ පවසනවා. "නුඹ නුඹේ ජීවිතයටම කිසිවෙකුටත් ආදරය නොකල අයෙක්.නුඹ එසේ කරා නම් මා මේ අවස්ථාවේ සිතෙන ආකාරය නුඹට වැටහෙනවා ඇති.මට මැරෙන්නට සිදු වුවත් මම මගේ කුමරුන්ට දෝෂාරෝපණය කරන්නේ නැහැ.ආදරය යනු තමන් ආදරය කරන තැනැත්තා ගන්නා සියළු තීරණ කෙරෙහි විශ්වාසය තැබීමයි. නුඹ වැන්නියකට එවන් වු හැඟීමක් කෙදිනකවත් නොවැටහෙනවා ඇති.මට මගේ කුමරුන් විශ්වාසයි.ඔහු ගන්නා සෑම තීරණයක් ගැනම මට විශ්වාසයි."

"You have never loved anyone in your life.If you had, you would know how I feel now.If you had ever loved someone,you'd know that .I wouldn't blame the consul even if I should die.To love someone means to trust every decision he makes.You would never understand such feelings."

මේ මම වතාවකදී බලපු විදේශීය ටෙලි නාට්‍යක කොටසක්.එහිදී ඒ කුමරිය නපුරු රැජිණට කියන ලද ඒ ආදරයට අරුත් දැක්වීම ගලේ කෙටූ අකුරක් සේම මගේ සිතේ තැන්පත් උනා.මේ තාක් කල් ආදරයට නොයෙක් විදියේ අරුත් මම අහලා දැකලා තිබුනත් මේ තරම් අරුත් බර හිතට වදින විදියේ දෙයක් මම අසා තිබුනේ නැහැ.අපේ ජීවිත වලට මේ අර්ථ දැක්වීම කොයි තරම් දුරට ප්‍රායෝගික දැයි මම දන්නේ නැහැ.ඒත් මේ අරුත් දැක්වීමට මම හරිම ආදරේ.

ප.ලි - කුමරියගේ කතාව සැබෑ කරමින් කුමාරයා රැජිණගේ රාජධානියට පහර දෙන ගමන්ම ඇගේ අවධානය වෙනතක යොමු කර රහසේම කුමරියවත් නිදහස් කරගෙන රැජිණගේ රාජධානියත් දිනා ගන්නවා.

March 30, 2009

මගේ අන්ධ වු සෙනෙහස



දවසක් පටන්ගත්ම දුවන් එන්නෙම් මම
වෙන කාටත් කලින් නුඹ විතරක් දකින්නට
නුඹේ ඔය දෑස් වල මා විතරක් දකින්නට
නුඹේ ලොව රජ වෙන්න සිහින දුටුවෙමී මම
මගේම සෙනෙහසින්පවුරක් සැදුවෙමී මම
මා හැර වෙනත් අයෙක් ඔබ වෙතට නොඑන්ම
නුඹ ලියූ කවි පද බලා සෙනෙහස වැඩුවෙමි සිත පුරා
ඒ කවි ලියවුනේ මා නිසා යැයි මා සිතු බැවින්
අදත් ඊයේ වගෙම හෙට දිනෙත් අද වගෙම
නුඔ මටම හිමි වෙන්න බුදුන් පවා යැද්දෙමි මම

නුඹේ දෑසට එබුන එදවසක එහි මා නොසිටි බව
සිහි නැගෙයි මෙදින මට මගේ අන්ධ වු සෙනෙහස
නොදැන ඇය සිටි වගක් එවකටත් නුඹෙ සිතේ
පුවුරු බඳින්නට ගියෙමි මගේ අන්ධ වු සෙනෙහස
නුඹ කවි ගෙතූවේ ඇයට මිස මට නොවේ අසරණ
මා ගැන සිති සිනහා නැගෙයි මට මගේ අන්ධ වු සෙනෙහස
නුඔට බැඳි පෙම නිසා අත් හලෙමි මාගේ ජන්මයත්
ඉතිරි වී ඇත්තේ මට මගේ අන්ධ වු සෙනෙහස

March 27, 2009

මම සිහින දකිමි.

මම සිහින දකින්නට හපනෙක්මී.
නිදි ලොවෙහි මෙන්ම දහවලෙහිද
මම සිහින දකිමි.
දෑස් වැසුනද මට සිහින පෙනේ
දෑස් හැරගෙන සිටියදීත්
මම සිහින දකිමි.
දකින සැම සිහිනයක්
සැබෑ නොවෙනා බව දැන දැනත්
මම සිහින දකිමි.

March 16, 2009

වසන්තය මලක් සේ.......!

ඊයේ පෙරේදා දවසක කෙනෙක් එක්ක ඇති වෙච්ච සංවාදයකදී මට මේ සුවිශේෂී සින්දුව ගැන අහන්න ලැබුනා. කලින් මම මේ සින්දුව එක පාරක් හෝ දෙපාරක් විතර අහලා තිබුනට මට ඒ ගැන එච්චරම මතකයක් තිබුනේ නැහැ. "ගංගා සහ නිශ්ශංක" ටෙලි නාට්‍යට සමිතා එරන්දතී මහත්මිය සහ ලක්ෂමන් විජේසේකර මහතා ගායනා කරපු ගිතයක් තමයි මේ.කොහොම හරි කරලා මුළු අන්තර්ජාල වියමනම පීරලා මේ සින්දුව හොයා ගන්න මට පුළුවන් උනා. එක සැරයක් දෙසැරයක් නෙමෙයි මේ වෙනකොට පනස් වතාවක් විතර මම මේ සින්දුව ඇහුවා. ඒත් එපා වෙන්නේ නැහැ. ඒ තරම්ම හරිම ආදරණිය සින්දුවක්. මෙතෙක් කල් මම අහපු සිංහල සින්දු අතරින් හොඳම සහ ලස්සනම සින්දුවක්, ඔයාලා එක්ක බෙදා ගන්න ඕන කියලා හිතුනා. සින්දුවේ පද වැල් ටික නම් මට ඇහුන විදිහටයි මම සටහන් කලේ. ඒ නිසා වැරදි තියෙනවා නම් කරුණාකරලා මට සමා වෙලා ඒ වැරදි නිවැරදි කරන්න.

සින්දුවේ කියවෙන විදිහටම මගේ ජීවිතයටත් වසන්තය ගෙනාපු එකම එක ආදරණීය මනුස්ස ආත්මයකට මේ සින්දුව පිළිගන්වන අතරම ඔයාලාටත් මේ සින්දුව රස විඳින්න මම ආරාධනා කරනවා.

සින්දුව ගන්න මෙතැනින්
නැත්නම් මෙතැනින්

සිනා පිපෙනා මේ වසන්තය
නෙලා දෝතින් මලක් සේ
මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ
සිනාසී ! ඔබයි ගෙන ආවේ
වසන්තය මලක් සේ........................!
නිබඳ සුවඳයි ඔබ නිසා මට
ගම මැදින් හමනා පවන සිහිලැල්
ගම් දොරින් පිටමං නොවේවා
නැවුම් සුහුඹුල් යෞවනේ හසරැල්
සිනා පිපෙනා මේ වසන්තය
නෙලා දෝතින් මලක් සේ
මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ
සිනාසී ! ඔබයි ගෙන ආවේ
වසන්තය මලක් සේ........................!
නිසල සිතුවිලි සසල තුරුලිය
අතර තනි වෙමි ඔබ නිසා සතුටින්
අහස සමුදුර වැළඳ සැනනෙමි
තැනක සඟවමි හද සෙනේ සුසුමින්
සිනා පිපෙනා මේ වසන්තය
නෙලා දෝතින් මලක් සේ
මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ
සිනාසී ! ඔබයි ගෙන ආවේ
වසන්තය මලක් සේ........................!

March 9, 2009

හිස් බව

හිස් බව තරම් හිත විඩාපත් කරන දෙයක් මේ ලෝකෙ තවත් නැතුව ඇති. මම මේ දවස් වල විඳින්නේ ඒ හීතල හිස් ගතිය. හැමදාම උදේට දවස පටන් ගන්නේ එදා දවස ගැන දහසක් බලාපොරොත්තු පොදි බැඳගෙන. ඒත් දවස පටන් ගන්න කලින්ම ඒ සමහරක් බලාපොරොත්තු ඉටු නොවීම මිලාන වෙලා යනවා දකින කොට දරා ගන්න බැරි තරම් දුකයි. ඒ වෙලාවට කාටත් නොපෙනෙන තැනකට ගිහින් දුක තුනී වෙලා යනකල් ඉකි ගගහා අඬනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද? කවුරු හරි ඒ වෙලාවට ඇහුවොත් අඬන්නේ ඇයි කියලා මට දෙන්න උත්තරයක් නැහැ. සමහර වෙලාවට මම අඬන්නේ ඇයිද කියලා මං වත් දන්නේ නැහැ. අඬනවා කියලා දෙයක් මේ ලෝකේ තිබුනේ නැත්නම් මම මේ වෙනකොට පිපිරිලා මැරිලා ඇති.

කොච්චර නම් සතුටින් දවස පටන් ගන්න හැදුවත් මේ හේතුවක් නැති දුක ඇවිත් නිතරම හිතට වද දෙනවා. වෙලාවකට හිතෙනවා මනුස්සයෙක් නොවී ගහක් ගලක් වෙලා ඉපදිලා තිබුන නම් කියලා.

February 1, 2009

සිතුවිල්ලක්



නුඹ අභියසදී මුව ගොලු වී යන
අරුමය කිමදැයි නොදනිමි තවමත්......!

දෙතොල් නොකීවද මට ඇති සෙනෙහස
නුඹේ සුසුම් එය පවසයි රහසින්.........!

January 23, 2009

බ්ලොගීට වු හදිය

කලින් තිබ්බ බ්ලොගීගේ ඩයරිය මීයෝ කෑවා. කාපු මීයාගේ නම කුෂාන් සසංක වේ.
bloggiesdiary දැන් bloggysdiary උනා. සිදුවූ බ්ලොග් ඇණහිටීමේ කලබගෑනියට මාගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමී. නමුත් මගේ පෝස්ට් ද ඔබේ කමෙන්ට්ස් ද නව ලිපිනයේ සංරක්ෂණය කර දීමට ඔහු සමත් වීය.
එම නිසා ඔහුව අදට අත හරින්නෙමී.

කවලමක්ද? කලවමක්ද?

mess

දනිස් අමාරුව සනීප වෙන්න

වසන්තය එන්නේ කවදාද?

AC මැෂිම වැඩ කරන්නෙත් නෑ

නිල් සයුර කළඹන්න

පුභාකරන්වත් ලඟදීම අල්ලනවා කියන්නේ

මේසෙ උඩ දූවිලි වරුසාව

ෆෘට් සැලඩ් එකක් වත් තිබ්බනම්

සෙන්ට් සුවඳ නම් මට අරහං

ෆෝන් එකට කාඩ් එකක් දැම්මෙත් නෑ

ජංගම දුරකථනය සයිලන්ට් කරන්න

බස් එකකටම හතර දෙනයි ඉන්නේ

මාළු මැරෙනවා හේතුවක් නැතුව

නිවිච්ච තේ… පියන්ට පිස්සු…

අද මට ඉන්නේ ළමයි දෙන්නයි

ඔබාමත් වැඩ පටන් ගත්තා

මඟුල් කේක් එක පුස් කා යන්කල්

සිත් අහසට හඳක් වගේ

ආදරය සුන්දර ඇයි මේ තරම්

අද වතුරත් නෑ ඔෆිස් එකේ

ප්‍රොජෙක්ටරේ අපේ නෙමෙයි

කවලමක්ද? කලවමක්ද?


මේක තේරෙන්නේ නැත්නම් මෙතන ‍කොටන්න

January 18, 2009

බස් රථය


ඒකාකාරී ජීවිතයේ තවත් වැදගත් කොටස් කාරයෙක් අපේ ගමට යන එකම එක බස් රථය. දවසට දෙපාරක් හැමදාම බස් එකේ යන නිසා බස් එකත් මට හරිම සමීප කෙනෙක් වෙලා. උදේ 6.30ට ඉස්කෝලේ ළමයි, වැඩට යන ලොකු ළමයි ගෙදර ඉන්ඩ බැරුව ටවුමට යන ළමයි ඔය කියපු හැට හුටහමාරම පටව ගත්ත බස් එකට මාත් ගොඩ වෙනවා.

මම හැමවෙලේම බස් එකට නඟින්නෙ ඉස්සරහ දොරෙන්. කොන්දොස්තර අයියා නිතරෝම කෑගහන්නෙ "ඉස්සරහට යන්න ,ඉස්සරහට යන්න" කියලා. ඉතින් ඉස්සරහම ඉන්න එක හොඳා. ඔන්න ඔතනම ඉන්නවා සරස්වතී ඉස්කෝලෙට යන දෙමළ ගෑණු ළමයි ටිකක්. මේ ළමයින්ගෙ විනෝදාංශය තමයි මම නැග්ග ගමන් මගේ ඔළුවෙ ඉදන් කකුලේ නිය පොත්ත දක්වාම බලලා මොනා හරි ඇදයක් හොයාගෙන හිනා වෙන එක. අනේ ඉතිං මට දෙමළ පුළුවන් කියලා ඒ අසරණ ළමයි දන්නෙ නෑනේ. මාත් ඉතිං මෝඩි වගේ එයාලා කියන ඒවා අහන් යනවා. මටත් දවසක් එයිනේ, එදාට අමතන්නම්. ඔය අතරෙ දහසක් වැලමිට ඇනීම්, කකුල් පෑගීම්, බැන ගැනීම් , බ්රේක් අතර බස් එක 7.00 ට විතර බදුල්ලට ළඟා වෙනවා. ඊට පස්සෙ මම නිකං කරත්තෙට අහුවෙච්ච කජු ලෙල්ල වගේ වැනි වැනී office එකට යනවා.

ඊට පස්සෙ හවස් බාගෙ කතාව,පොතේ හැටියට බස් එක 5.45ට විතර අපේ halt එකට එන්න ඕන. ඒත් සතියකට දවස් දෙකක් විතර අපේ බස් පොඩ්ඩට අමුතු පහේ ලෙඩ හැදෙනවා. නම් වශයෙන් කියනවා නම් ටයර් මාරැ කිරීම, දුනු පැනීම, තෙල් බ්ලොක් විම් ඇතුළුව මට නොතේරෙන එක එක ජාතියේ ලෙඩ ජාති. ඒ වගේ දවස් වලට නම් අපේ ගමේ සෙට් එක මාත් ඇතුළුව , හොදට උල් කරන ලද ලොකු කටු ටිකක් අරන් කකා ඉන්නවා රෑ 7, 8 වෙනකල්. මාරම චාටරයක්.

හැබැයි බස් එක වෙලාවට ආපු දවස් වලට නම් අපිට මාර ජොලි . බස් එක දැක්ක ගමන් කට්ටියම එක රොත්තට දුවන් යනවා බස් එක ගාවට. බස් එකට ආදරේට නෙමෙයි සිට් අල්ලගන්න. ඔය වෙලාවට ඉතිං මාත් ගෑණු ළමයෙක් කියන එක අමතක කරලා සාරිය උස්සං දුවනවා. හවසට කොහොමත් මට දෙයියනේ කියලා සිට් එකක් හම්බ වෙනවා.

මම බස් එකේ යද්දි ජනේලෙන් එළිය බලන් පාඩුවේ යන්න කැමතියි. ගොඩක් වෙලාවට ‍බ්ලොග් එකට ලියන්න ගොඩක් දේවල් මතක් වෙන්නෙ ඔය වෙලාවට. ඒ ගමන් පුංචි නින්දකුත් යනවා. නින්දත් නො නින්දත් අතර යන ඔය ගමන ඇණ හිටින්නෙ රියදුරු මහත්තයට චූන් වෙලා "බ්රාාාාාාා........ස්" ගහලා බ්රේක් එකක් ගහපු වෙලාවට. මගේ ඔළුව වැදිච්ච සිද්දිය කවුරැත් දැක්කද කියලා පොඩ්ඩක් වට පිට ඇහැ ගහලා මම ආයෙත් මගේ සුන්දර සිහින ලෝකෙට ඇතුළු වෙනවා. කොච්චර නම් නිදා ගත්තත් ගේ කිට්ටු වෙද්දි මට ඉබේම ඇහැරෙනවා. එකම එක දවසක් විතරක් ගෙදරට වංගු දෙකක් විතර පල්ලෙහාට ගිහිං බැහැලා කට්ට කලුවරේ බයට සින්දු කිය කිය ගෙදර ආවා. එදා ඉදං අද වෙනතුරු මම ගේ කිට්ටු වෙද්දි පොඩ්ඩක් ඇලට් එකේ ඉන්නෙ.

අඩි 5යි අඟලක් උස මං වගේ කොට ජීවිත වලට අල්ලන්න තබා හිතන්නවත් බැරි තරම් උසක තියෙන බෙල් එකත් විභාගේ පේල් වෙච්ච දොස්තර මහත්තයට කියලා ගහගෙන මම අපේ ගේ ගාවින් බහිනවා ගෙදර ඉන්න බල්ලො දෙන්නගේ උණුසුම් පිළිගැනීම මැද.

ඔන්න ඕකයි මගේ බස් රථයේ කථාව.........!

January 16, 2009

ඔබ

මගේ හෙවනැල්ල වගේ මගේ දුක සැපේදි මගේ ලඟින්ම ඉන්න මගේ ආදරේ ගැන ගොඩාක් ආදරේ හිතුන වෙලාවක ලියවුනු කවියක් නොවන කවියක්......!


ඔබ,
දෙතොලග නිතරම රැදෙන කවියක්,
මගේ ඇස් රතු කරන කඳුළක්,
මා වෙහෙස කරවන සිනහවක්,
හදවතට ඇවිත් යන හුස්මක්,
දිවා රෑ ගැහෙන හද ගැස්මක්,
මා තනි නොකරන සෙවනැල්ලක්,
නින්දෙනුත් පෙනෙන සිහිනයක්,
හිතම මත් කරන මී විතක්,
වැටෙන්නට නොදෙන වාරුවක්,
මග එළිය කරන තරු වැටක්,
මා තෙමන ආදර වැස්සක්,
මා වටා එතෙන මල් සුවදක්,
කන්න බැරි සැර මිරිස් කරලක්,
වෙහෙස නිවන සුව නින්දක්,
දෙවියන් දුන් අනඟි වරයක්,
රසම රස ස්ට්‍රෝ‍බෙරි පුඩිමක්,
පාට දහ අටක දේදුන්නක්,
ඉවරයක් නැති විශ්වයක්,
නිතර නෙත් හොයන රස දසුනක්,
මගේ මුළු දිවියම කෙටියෙන් ලියූ කල
ලැබුනු ලස්සනම වචනයක්..........!

January 14, 2009

Feeling Blue



නිල් අහස,නිල් මුහුද,නිල් ඇස් විශ්වයේ ඈතට ගිහින් බැලුවොත් අපි මේ දැන් ඉන්න නිල් පෘතුවිය.
මේ වගේ මම කැමතිම පාට වට පිටාවේ හැම තැනම වගේ තියෙන එක මොන තරම් දෙයක්ද?
මතක ඇති කා‍ලෙක ඉදලා මගේ කැමතිම පාට නිල්.
ඇඳුමක ඉඳලා කොණ්ඩෙට දාන්න wool band එකක් ගන්න ගියත් මගේ ඇහැ යන්නේම නිල් පාට දේවල් වලට.
විශේෂයෙන්ම නිල් සාරිය මගේ ප්‍රියතම ඇඳුම.නිල් පාටයි , මායි අතර ලොකු බැඳීමක් තියෙනවා කියලා මට හිතෙනවා.
හොඳට අස් කරලා තියෙන වෙලාවකට මගේ ඇඳුම් අල්මාරිය ඇරලා බැලු‍වොත් හැම තට්ටුවේම නිල් පාට ඇඳුම් අඩුම ගානේදෙකක් වත් තියෙනවා දකින්න පුළුවන්. English එකෙන් ‍feeling blue කියන්නෙ "දුකින් ඉන්නවා" කියන අදහස.ඒත් මගේ අදහස නම් feeling blue කියන එකේ තේරැම "සතුටින් ඉන්නවා" , "නැවුම්ව ඉන්නවා" කියලා වෙනස් වෙන්න ඕන කියන එක.මම දකින්නේ නිල් පාට නැවුම් බවේ හා පිවිතුරැ බවේ පාටක් විදියට.
හිහ් හිහ්.......! සුද්දන්ට සිංහල කියවන්න පුළුවන්නම් මට නඩු දායිනේ.
අද මම බ්ලොග් එකට Post කරන්න සටහනක් ලියන්න හිතාගෙන මගේ Notebook එක අරගෙන ඇඳට නැඟලා වට පිට බැලුවා.එතකොටයි මම දැක්කේ මම ඇඳන් ඉන්නේ නිල් පාට Jersey එකක් කියලා. මගේ ඇඳට දාලා තිබුනේ නිල් පාට Bed sheet එකක්.ඇඳ ‍කොනේ මම අද වැ‍ඩට ඇන්ද නිල් පාට සාරි‍ය නමලා තියෙනවා. බාගෙට ඇරිච්ච Hand Bag එකෙන් මගේ නිල් පාට මූණ පිහදාන පුංචි Towel එකයි නිල් පාට කු‍ඩෙයි පේනවා. මෙහෙම කියා‍ගෙන කියා‍ගෙන යද්දී ඔයාලගේ හිතේ මගෙන් අහන්න ප්‍රශ්නයක් නලියන බව මට දැනෙනවා. හිහ් හිහ්.......! ඒත් ඒ ප්‍රශ්නෙ මගෙන් අහන්න නම් එපා.
I am always feeling Blue.

January 9, 2009

බ්ලොගීගේ ඩයරිය

"බ්ලොගීගේ ඩයරිය"මේ මගේ අළුත්ම බ්ලොග් අඩවිය.හැමදාම සිද්ද වෙන හැමදේම දාලා බ්ලොග් එකක් ලියන්න හිතුනා.කැමතිනම් ඒ පැත්තටත් ගොඩ වෙලා එන්න

January 3, 2009

‍මේ සාමයේ වසරයි

සුභ ආරංචි ‍ගොඩාක් එක්ක අළුත් අවුරැද්දක් ආරම්භ කරන්න ලැ‍බෙන එක කොච්චර නම් වාසනාවක්ද?
කිලිනොච්චිය මුදා ගත් අපේ සහෝදර රණ විරැවන්ටත් අ‍නෙක් සියළුම ‍දෙනාටත් සාමයෙන් සපිරැණු සුභ නව වසරක් වේවා කියලා 2009 වසරේ පළමු බ්ලොග් සටහන ආරම්භ කරනවා.
ඉතිං ‍පහුගිය මාසේ ගැන කියනවා නම්, හරිම කාර්ය බහුල ඒ වගේම විනෝද‍යෙන් ‍ගෙවිච්ච මාසයක් හැටියට හඳුන්වන්න පුළුවන්. 14,15,16 මේ දවස් තුනේම මම හිටියේ නුගේගොඩ අපේ ප්‍රධාන ආයතනයේ පැවැත්වුන IPICT Training එකේ. බදුල්ල branch එ‍කෙන් මායි නදීශා අක්කයි තමයි ගියේ. දවස් තුනක් තිස්සේ උදේ හවස නාරාහෙන්පිට නුගේගොඩ බස් වල තැම්බි තැම්බි අපි දෙන්නා කාපු කට්ට මතක් වෙනකොට දැනුත් වමනෙ යන්න එනවා. Training එකේ හැටියට අන්තිම මොහොත වෙනකල්ම මම හිතුවෙ නෑ මම pass ‍වෙයි කියලා. දෙයියනේ කියලා අපි දෙන්නම pass වෙලා තිබුනා. ඉතිං අපේ branch එක ගොඩ දාගත්ත ආඩම්බරයත් කද මලු බැඳගෙන 16 රෑ අපි ගම රට බලා නැව්(බස්) නැග්ගා.

පහුවදා උදේ office එකට ගියාම මාර පිළිගැනීමක් තිබුනෙ. ඒ අතරම අපේ students ලා ටික හරි හරියට ලෑස්ති වෙන‍වා අපේ Get Together එකේ වැඩ වලට. 23 ‍වෙනිදා 2.30 අපේ office එකේ උඩු මහලේ අපේ Get Together එක "SomosDeReonión (Together We Are)" ‍බොහොම ලස්සනට පැවැත්වුනා.
Photos බලනවානම් මෙන්න link එක.
http://www.facebook.com/album.php?aid=5502&l=d011b&id=1610570444

24, 25, 26 අපි නිවාඩු. 27 ආයෙත් සුපුරැදු පරිදි වැඩ. 1 වෙනිදා ආ‍යෙත්
නිවාඩු . ඒත් පුරුද්දක් විදියට අපි office එකට ඇවිත් කිරි උතුරවලා කාලා බීලා පොඩි පහේ fun එකක් අරන් තමයි යන්නේ.
ඊට පස්සේ කට්ටියම මුතියංගණ පන්සලටත් ගියා.
http://www.facebook.com/p.php?i=1610570444&k=6WMYPX63T42M5CFBQJYYXS

ඊටත් පස්සේ අපේ දවසේ අවසාන අදියර හැටියට නිල් දිය යහන බලන්න ‍ගියා. එච්චරයි.
හැමෝටම ජය වේවා!!!