Showing posts with label සෙනෙහස. Show all posts
Showing posts with label සෙනෙහස. Show all posts

April 3, 2009

ආදරයට අරුතක්

එක්තරා කතාන්තරයක අහිංසක කුමරියකුත් මහා රාජධානියක් පාලනය කරන කුමාරයෙකුත් ආදරයෙන් බැඳිලා හිටියා.ඔවුන් එකිනෙකාට දැඩිව ආදරය කලත් පෞද්ගලික හා දේශපාලනමය හේතූන් මත ඔවුන් දෙදෙනා හොඳ අවබෝධයෙන් වෙන්ව යනවා.එහෙත් ඔවුන් එකිනෙකා කෙරෙහි දක්වන ආදරය අඩු වන්නේ නැහැ.මේ අතර ඔවුන් දෙදෙනාගේම ‍දේශපාලන හා ව්‍යාපාරික සතුරෙකු වන තවත් නපුරු රැජිණකගේ රාජධානියකට පහර දෙන්න මේ කුමාරයා සැළසුම් කරනවා.මෙම පුවත කන වැකුණ සැනින් මේ නපුරු රැජිණ අර අහිංසක කුමරියව තමන්ගේ සිර අඩස්සියට ගන්නවා.ඉන්පසු ඇය තම රාජධානියට පහර දීම නැවැත්තුවහොත් කුමරිය නිදහස් කරන බවටත් එසේ නොකළ හොත් කුමරිය මරා දමන බවටත් කුමාරයාට තර්ජනය කරනවා.එහෙත්කුමාරයා රැජිණගේ තර්ජනය නොසළකා හරින්නේ තමන් දැඩිව ආදරය කල කුමරියගේ ජීවිතය පිළිබඳව කිසිම තැකීමක් නොකරමින්.

රැජිණ කුමරිය තමන් අභියසට කැඳවාගෙන "ඔබේ අගේ ඇති කුමාරයා ඔබේ ජීවිතය පිළිබඳවත් නොසළකා ඔහුගේ අරමුණ ඉෂ්ඨ කරගැනීමට යනවා,ඔබට මෙය දැනෙන්නේ කෙසේද?" යැයි උපහාසයෙන් කුමරියට පවසනවා.එහෙත් අසරණ කුමරිය එකම කඳුළක් වත් නොහෙලා නපුරු රැජිණට මෙසේ පවසනවා. "නුඹ නුඹේ ජීවිතයටම කිසිවෙකුටත් ආදරය නොකල අයෙක්.නුඹ එසේ කරා නම් මා මේ අවස්ථාවේ සිතෙන ආකාරය නුඹට වැටහෙනවා ඇති.මට මැරෙන්නට සිදු වුවත් මම මගේ කුමරුන්ට දෝෂාරෝපණය කරන්නේ නැහැ.ආදරය යනු තමන් ආදරය කරන තැනැත්තා ගන්නා සියළු තීරණ කෙරෙහි විශ්වාසය තැබීමයි. නුඹ වැන්නියකට එවන් වු හැඟීමක් කෙදිනකවත් නොවැටහෙනවා ඇති.මට මගේ කුමරුන් විශ්වාසයි.ඔහු ගන්නා සෑම තීරණයක් ගැනම මට විශ්වාසයි."

"You have never loved anyone in your life.If you had, you would know how I feel now.If you had ever loved someone,you'd know that .I wouldn't blame the consul even if I should die.To love someone means to trust every decision he makes.You would never understand such feelings."

මේ මම වතාවකදී බලපු විදේශීය ටෙලි නාට්‍යක කොටසක්.එහිදී ඒ කුමරිය නපුරු රැජිණට කියන ලද ඒ ආදරයට අරුත් දැක්වීම ගලේ කෙටූ අකුරක් සේම මගේ සිතේ තැන්පත් උනා.මේ තාක් කල් ආදරයට නොයෙක් විදියේ අරුත් මම අහලා දැකලා තිබුනත් මේ තරම් අරුත් බර හිතට වදින විදියේ දෙයක් මම අසා තිබුනේ නැහැ.අපේ ජීවිත වලට මේ අර්ථ දැක්වීම කොයි තරම් දුරට ප්‍රායෝගික දැයි මම දන්නේ නැහැ.ඒත් මේ අරුත් දැක්වීමට මම හරිම ආදරේ.

ප.ලි - කුමරියගේ කතාව සැබෑ කරමින් කුමාරයා රැජිණගේ රාජධානියට පහර දෙන ගමන්ම ඇගේ අවධානය වෙනතක යොමු කර රහසේම කුමරියවත් නිදහස් කරගෙන රැජිණගේ රාජධානියත් දිනා ගන්නවා.