අහලා තියෙනවද වළාකුළු වලින් වැහිච්ච උස් කඳු මුදුන් වල තියෙන ජේඩ් අධිරාජ්‍යයාගේ උයන් ගැන. (චීන සුරංගනා කතන්දර වල) මට හිතුනෙම මම ඇවිත් ඉන්නේ ඒ වගේ තැනකට කියලා. පළාතම මීදුමෙන් වැහිලා.. කිසිම සද්දයක් නෑ. කුරුල්ලන්ගේ සද්දේ විතරමයි. බලෙන් වගේ යුනිෆෝම් එක අන්දලා හිටපු වයසක සික්‍යුරිටි අංකල් කෙනෙක් ඇවිත් අපිව පඩිපෙල් පේලියක් දිගේ ඒ සොඳුරු නැවතුම් පළට කැඳවාගෙන ගියා. බැලූ බැල්මට ඒ නැවතුම් පළ ගොඩාක් පුංචි වගේ. ඒත් වත්ත ගොඩාක් පුළුල්. උදේටත් නොකා හිටපු නිසා පරිසරයේ සුන්දරත්වය විඳින්න මගේ පුරු පුරු ගාන බඩගෙඩිය නම් ඉඩ දුන්නේම නෑ. ඒ හින්දා ඉක්මනට දවල් කෑම ලෑස්ති කරන්න කියලා අපේ ගමන් මල්ලත් උස්සගෙ අපි අවට ඇවිදින්න ගියා.. දෙවියනේ ඒ පරිසරයේ ලස්සන.. මම ටිකක් හුස්ම ගන්න අමතක වෙලා වගේ බලන් හිටියා කිව්වොත් නිවැරදි. කොතනටද අපි යන්නේ කියලා තීරණයක් ගන්න බැරුව ඉද්දි මම දැක්කා නිල් කැටේට වතුර පිරිච්ච මේ පූල් එක.
උඩ තියෙන පින්තූරේ ඈතින් පේන ගහ යට තියෙන තැන තමයි අපි තෝරාගත්තේ පොත් කියවන්න. එතනම තියෙන පඩි පෙළෙන් බැහැලා තමයි අපි මෙතනට ආවේ. ඔන්න ඒ පඩි පෙළ පාමුල ඉඳලා එපඒ සොඳුරු නැවතුම් පල පේන හැටි.
ඔන්න අපි හිටපු තැනට පේන කවත් අපූරු සුන්දර දසුන් කිහිපයක්..
තව ලස්සන තැන් තිබුනත් හුස්ම ගන්නත් අමතක වෙලා හිටපු මට ෆොටෝ ගන්න මතක් කරෙත් අසරුවා නොහොත් කුෂාන් අයියා. මේ මම ඉන්න තැනට පහළින් තියෙනවා ඊගල් නෙස්ට් කියලා තවත් තැනක්. මේ නැවතුමේම තවත් කොටසක්. අවාසනාවකට මට ඒකේ ෆොටෝ ගන්න බැරි උනා.
හෑ…හ්! මේ මම නම් පොටෝ ගැහුවේ කවුද?
ඇත්තටම මේ පරිසරේ උපරිමෙන්ම රසවිඳින්න නම් අපි හිටපු පැය දෙක තුන හොඳටෝම මදි. අපිට බලන්න පුළුවන් උනේ මේ පූල් එක ළඟ විතරයි. අපි බැහැලා ආපු පඩි පෙළින් උඩට ගියාම තවත් ලස්සන තැන් තියෙනවා කියලා කිව්වේ මේ නැවතුම් පලේ මැනේජර් අංකල්. ආයෙක් දවසක මෙහේ එන්න අපි දෙන්න කතා උනේ ඒ නිසා. නගරාසන්නයේ තියෙන තදබදයෙන් මිදිලා කාත් කවුරුත් නැති කුරුල්ලන්ගෙයි වතුර සද්දෙයි විතරක් ඇහෙන මීදුමෙන් වට වෙච්චි මේ සීතල කඳු මුඳුනට කවුද අකමැති. මම නිකමට ඇස් දෙක පියාගෙන අහගෙන හිටියා. වෙනදට කනට හුරුපුරුදු ශබ්ද කිසිවක් නැතිව හුළගේ ශබ්දය විතරක් අහගෙන ඉන්න එක කොච්චර ලස්සන අත්දැකීමක්ද දන්නවද? පුංචිම පුංචි වේලිච්ච කොළයක් බිමට වැටුනත් ඇහෙන ගානට පරිසරය නිශ්ශබ්දයි. ලෙක්චරින් වැඩේ දමලා ගහලා world’s end lodge එකේ පිඟන් හෝදන්න ආවත් සැපයි කියලා මට හිතුනා. අනේ මන්දා. මට ඒ වෙලේ හැඟිච්ච දැනිච්ච දේවල් කියන්න මම දක්ෂ නැහැ. මගේ වචනත් දක්ෂ නැහැ. මගේ Nokia Xpress Music 5130 ජංගම දුරකතන කැමරාවත් දක්ෂ නැහැ. තනියම ඇවිල්ලා පොතක් කියවන්න. පවුල් පිටින් ඇවිල්ලා කන්දක් මුදුනේ තියෙන ස්වාභාවික වතුර පිරුණ පූල් එකක සීතලේ ගැහි ගැහී නාන්න, හිරිඟඬු පිපෙන මීදුමේ ඉඳන් උණුසුම් කෝපි කෝප්පයක් බොන්න, තමන්ගේ ආදරේ එක්ක ඇවිත් උරහිසේ ඔළුව තියාගෙන ඔහේ වළාකුළු වලට උඩින් තියෙන කඳු මුඳුන් දිහා බලාගෙන නිදහසේ ඉන්න කැමති ඕනෑම කෙනෙකුට මෙතන පාරාදීසයික්. මාත් එක්ක ගිය එක්කෙනෙක් කියනවා “අනේ මන්දා ෆා මට නම් සැහැල්ලු(relax) වැඩියි වගේ” ඇත්තටම මටත් හිතුවේ එහෙමමයි. මම ඇවිදිනවා වගේ නෙමේ පාවෙනවා කියලයි හිතුනේ. ඔන්න ඒ හැමදේම බලලා අපි දෙන්න අර කලින් කියාපු තැනට ගියා පොත් කියවන්න. මොන පොත් ද? මට නම් ටිකෙන් ටිකට ඔළුව ඉස්සිලා වටපිටාව බලන එක නවත්තන්නම බැරි උනා.
ඔහොම පොත් කියවන්න ගත්තාට පස්සේ ඔන්න කීකරු සූටි කොලු පොඩ්ඩෙක් ඇවිත් කෑම ලෑස්තියි කියලා අපට නිවේදනය කරා. සීතලේ බඩගින්නේ හිටපු අපි දෙන්න හොඳ කෑම වේලකිනුත් සප්පායම් වෙලා ආයෙත් අර ගහ යටට ගියා. කරුමෙක මහත කියන්නේ එදා ඩෙසර්ට් වලට තබුනේ අයිස්ක්‍රීම්. සීතල මදිවට අයිස්ක්‍රීම් කප් දෙකටත් අපි වගකිව්වා බෑ නොකියා.
ඔහොම ඉද්දි ආවේ නැතෑ බස් එකකින් ආපු 20ක විතර සෙනඟක්. හෙන පොෂ් ඈ.. ආවේ කොළඹින් ලු. පූල් එක ඩර්ටි ලු. රෑෂස් හැදෙයි කියලත් කිව්වා. පව් අනේ.. ඒත් එක්කම එතන හිටපු ගෑණු ළමයෙක් කන්ද දිහාට හැරිලා හයියෙන් “හෙලෝ..ව්” කිව්වා. එතකොටම ඒ සද්දේ දෙතුන් පාරක්ම කඳු අතර දෝංකාරය දුන්න හැටි මට තාමත් ඇහෙනවා වගේ…..
ඉතින් ඔය සෙනඟ ඇවිත් අර තිබුන නිහැඬියාව නැති කරලා දැමීම නිසා අපි තීරණය කලා තවත් දවසක පූල් එකට බහින්නත් එක්ක ලෑස්ති වෙලා ආයෙත් එමුයි කියලා මේ ගමන ඉවර කරන්න.. ඔන්න ඔහොමයි විස්තරේ.. කලින් පරිසරයේ ටයිට්ල් එකේ කියවෙන තරම් කැලෑ පරිසරයක් මෙතන නැති බව නම් ආයෙත් මතක් කරන්න ඕන. මෙන්න අන්තිමට අපි නැවත යන්න ඕන පාර කඳුමුඳුනට පේන හැටි.
වැඩි පුර පින්තූර බලනවා නම් යන්න මූණු පොතට..
මේ තැන ගැන අහසේ සිට බලනවා නම් මෙන්න තැන..
පුළුවන් දවසක ඔබත් අනිවාර්යෙන් ඇවිත් යන්න. The World’s End Lodge එකට දෙන මාකටින් පාරක් නොවුනට මෙය පරිසරයට ආදරය කරන්නන්ට කෙරෙන් සුහද වූ ආරාධනාවක්. බරවාහන නැතුව වෑන් එකකින් වගේ නම් මෙතනට පහසුවෙන්ම එන්න පුළුවන්..
ඉතින් අදට ඇතිය .තවත් මෙවැනිම චාරිකාවක් ගැන විස්තර අරන් නැවත එනතුරු අදට ඔබෙන් සමුගන්නා මම ෆා…………!!