August 16, 2010

මගේ තරඟකාරයට ආදරෙන්..!

අයියයි මායි
මේ සටහන මම මාස ගානක් තිස්සේ ලියනවා.. ලියන්න පෑන අතට ගන්න හැම මොහොතෙම මගේ සිතුවිලි හිරවෙලා විසිරිලා යනවා.. ඔහොම කල් ගිහින් ගිහන් තිබ්බ ‍මේ සටහන සම්පූර්ණ කරන්න මට උත්තේජකයක් උනේ අද දිනය..
 
අගෝස්තු 16
 
අද මට ලියන්නේ මං ඉපදෙන්න කලින්ම මගේ තරඟකාරයෙක් උන පුද්ගලයෙක් ගැන.. මට කලින් මේ ලෝකේ එළිය දකින්න පින් කරපු තරඟකාරයෙක් ගැන.. මට කලින් මගේ අම්මට “අම්මා” කියන්න පින් කරපු තරඟකාරයා ගැන.. මට කලින් මගේ දෙමව්පියන්ගේ ආදරය ලබන්න එයාලගේ හුරතලා වෙන්න තරම් වාසනාවන්ත උන මගේ තරඟකාරයා ගැන.
 
ඒ වෙන කවුද ඉතින්..මගේම ආදරණිය අයියණ්ඩි මිසක්..
 
පුංචිකාලේ අයියගෙයි මගෙයි බැඳීම කොයි වගේද කියන්න මට තියෙන්නේ අපැහැදිලි මතකයක්.. මට මතක හැටියට නම් අපි බොහොම ආදරෙන් හිටපු අයිය නගෝ ඩබලක් නම් නෙමේ.. අපි දෙන්නගේ රණ්ඩු බේරන්න එන අම්මගෙන් හැමදාම ගුටිකෑවේ අයියා.. වැරැද්ද මගේ අතේ තිබුනත්.. මට මොන්ටිසෝරියේ තිබ්බ කොන්සට් එකේදි හම්බ උන හාවගේ වෙස් මූණ ඔයා උදුරගෙන දාගනිද්දි මම හූ තියාන ඇඬුව මට මතකයි.. ඒත ඔයාට ඉස්කෝලෙන් හම්බ වෙන කිරි පැකට් එක බොන්නැතුව හැමදාම මට ගෙනත් දෙනවා.. ඔයාට ටීවි එකේ තන්ඩර් කැට් බලන්න ඕන උනහම මට ඕන වෙනවා වෙන චැනල් එකක රෑකඩ නාට්‍ය බලන්න.. ඒත් හැමදාම හවසට ඔයා මාව ළඟට අරන් ඉස්කෝලෙ පොතේ හාවයි අලියයි වඳුරයි පාලම හදපු කතාව කියලා දුන්න..
 
මට අවුරුදු 6දී තාත්තා අපිව තනිකරලා මේ ලෝකෙන් සමු ගත්තට පස්සේ ඔයාටත් මටත් නංගිටත් එක වහලක් යට ඉන්න තිබුන අවස්තාව නැති උනා..
 
මං හිතන්නේ අපේ බැඳීම දැඩි වෙන්න පටන් ගත්තේ ඒ අවාසනාවන්ත සිද්ධියෙන් පස්සෙ.. මට මතකයි තැන තැන කොටුවෙලා හිටපු අපි ඔක්කොම එකට එකතුවෙන්නේ ඉස්කෝලෙ නිවාඩු කාලෙට මහගෙදරදි..ඔක්කොම එකතු උනාම  අපි අට දෙනෙක් විතර..ඒ ආවම දවස ඉවර වෙනකල් සෙල්ලම් ගෙවල් දාගෙන සෙල්ලම් බත් උයාගෙන ගෙවපු ඒ කාලෙ තමා මගේ ජීවි‍තේ හොඳම කාලෙ.
 
නිවාඩු ඉවර වෙලා ආයේ හිටපු තැන් වලට යන්න පිටත් වෙනකොට පොඩිකමට උනත් ඔයා ඒ දුක පෙන්නුවේ නෑ.. මං තමා හොටුපෙත්ති වගේ අඬාගෙන යන්නේ. ඔන්න යන්තම් මම 5වසරේ ශිෂ්‍යත්වේ ගොඩ දාගත්තට පස්සේ තමා අපිට එකට ඉන්න වාසනාව පෑදුනේ. ඊට පස්සේ තමා අපේ යුද්දේ පටන් ගත්තේ.. පුංචි පුංචි දේවල් වලටත් මං කොච්චර නම් පැටලෙන්න ඇද්ද ඔයා එක්ක.
 
කාලේ ගෙවිල මං ළමිස්සියක් උනාම තමා ඔයාට තවත් ප්‍රශ්න පටන් ගත්තේ.. ඔයා විතරක් නම් මදැයි! ලොකු අම්මගේ පුතාලා තුන්දෙනා එකතු උනාම මට අයියලා හතර දෙනයි. ඉතින් ඔයාලගේ ඇස් වහලා මට කොල්ලෙක් දිහා බලන්නවත් බැරි උනා.. මගේ පුංචි පුංචි ප්‍රේම කතා වලට පටන් ගත්ත මුලම නැවතීමේ තිත තියන්න උනේ ඔයාලගේ මේ හමුදා බලකාය නිසා.. ඔන්න ඔයා මගේ තරහකාරයා වෙච්ච පළවෙනි තැන.. ඒත් මං පස්සේ තේරුම් ගත්තා.. ඔයාලගේ ආරක්ෂාව නිසා මට කොයි තරම් අගයක් ලැබුනද කියලා..
 
වයසෙන් මෝරද්දි තමා අපි ‍ගොඩාක්ම සහෝදර බැම්මෙන් බැඳුනේ… මං වැඩ ඇරිලා එන වෙලාවට ඔයා මගේ කම්ප්‍යුටරේ අයිති කරගෙන.. ඉතින් මං බොරු නෝක්කාඩුවක් කියාගෙන ඔයාට ලං උනාම ඔයා මාව එළවනවා “යනවා යනවා, බස් ‍‍ග‍‍ඳේ බෑ ළඟ.. නාලා එනවා” කියලා. නාලා ආවත් ඔයා නෙමේ තව පැයකට එතනින් නැඟිටින්නේ.. මහ රෑ පාන්දර කියලා  වෙනසක් නැතුව ඔයා ගේම්ස් ප්ලේ කරද්දි මං තමා ඔයාගේ තේ සැපයුම් කරු උනේ. මහ රෑ 1ටත් තේ හදාගෙන ඔයා ප්ලේ කරන ගේම් එක දිහා බලා ගෙන මමත් උන්නා.. “අයියටම හරියන නංගි” ඔයා IGI එකේ වීර සෙබලා වෙලා ඉද්දි මං ඔයාට සප් එක දෙනවා දැකලා දවසක් අම්මා එහෙම කියලා ගියා…
 
රේස් ෆිල්ම් එක ආපු කලේ ඒකෙ ඔයා ආස කරපු සින්දු වල ලිරික්ස් මං හොයාලා ගෙනත් දුන්නම ටීවි රිමෝට් එක මයික් එක කරගෙන අපි තුන්දෙනාම මහ හයියෙන් ඒ සින්දුව කිව්වා ඔයාට මතකද?
ඔය මොන ෆිට් එක තිබුනත් මගේ හිත ගිය කොල්ලෙක් ගැන ඔයත් එක්ක කතා කරන්න නම් මං බය උනා.. ඒ නිසා ඒගැන ඔයාගෙන් හංගන්න උනා මට. ඔය කාලෙදි තමා අපේ ඒ සුන්දර ජීව‍තේට සමුදෙන්න ඔයාට පිටරටකට යන්න අවස්ථාවක් ආවේ. අම්මා ළඟ නැති නිසාවෙන් ඔයාට ගෙනියන්න අවශ්‍ය කරන ගොඩාක් දේවල් පිළියෙල උනේ මගේ සහ නංගිගේ අතින්…
 
ඔයාට මතකද දන්නෑ.. ඔයා යන්න හෙටයි කියලා අපි දෙන්න ගේ ඉස්සැරහ පඩිපෙලට වෙලා අපේ අනාගතේ ගැන කතා කර කර ඉද්දි මගේ හිත ගත්ත පුද්ගලයෙක් ගැන ඔයාට කියන්න මං කීපාරක් නම් කට හැදුවද? ඒත් මට ඒතරම් හයියක් ආවේ නෑ ඒගැන ඔයාට කියන්න….
 
අන්තිමේ දී ඒ දවස උදා උනා.. ඔයා මාවයි නංගිවයි තනිකරලා නන්නාඳුනන ඈත රටකට යන්න පිටත්වෙන දවස.. කොච්චර නම් තදින් හැඟීම් හිර කරගෙන හිටියත් ඔයා යන්න හදන අන්තිම මොහොතේ මට මාව පාලනය කරගන්න බැරුව ගියා.. මං අඬාගෙන ඔයාට තුරුළු උනාම ඔයා කිව්ව වචන මට තාමත් මතකයි.. “අඬන්න එපා නංගි, ඔයාව විශ්වාස කරලා තමා මම පොඩි නංගිවත් දාලා යන්නේ, මං එනකල් ඔයා එයාව බලාගෙන ලස්සනට ඉන්න ඕන” .. ඔයාගේ ඒ වචන වල ශක්තියමට වෙන්න ඇති අද මං මෙහෙම ඉන්නේ.. ඒත් අම්මයි ඔයයි ළඟ නැති අඩුව මට වචන වලින් පහදන්න බෑ…
 
මේ ඔයා නැතුව ගෙවන දෙවනි අවුරුද්ද.. තව අවුරුද්දක් මං ඇඟිලි ගනිනවා.. අවුරුදු ගානකට පස්සේ උදාවෙන ලස්සන දවස වෙනුවෙන්.. ඔයා අම්මා මම නංගි අපි හතර දෙනාම අවුරුදු 4කට පස්සේ එක වහලක් යට මුණගැහෙන ඒ ලස්සන දවස වෙනුවෙන්..   මෙහෙම දුරට ගිහින් එකිනෙක්කෙනාගේ මුහුණු දකින්නැතුව ඔයයි අම්මයි කැප වෙන්නේ අපේ ලස්සන අනාගතය වෙනුවෙන් කියලා මං දන්නවා.. ඒ දවස වෙනකල් මං මගේ හැම පුංචි පුංචි හීනයක්ම එකතු කරලා තියාගෙන ඉන්නම්.. එතකල් මතක තියා ගන්න. ඔයා තමා මේ ලෝකේ ඉන්න හොඳම සහෝදරයා….!
 
ඔයාට සුභ උපන් දිනයක්, මගේ ආදරණිය අයියේ……..!
 

26 comments:

Chanaka Aruna Munasinghe said...

මම තමයි පවුලේ බාලයා
ඒ වුනාට මටත් නංගි බබෙක් හිටියනම් ...

Abeetha Edirisinghe said...

හොද අදහසක්... ඒත් අයියට මේක කියවලා ලොකු දුකක් දැනේවිනේ..

චමිදේවා said...

ඔන්න මමත් ඔයත් එක්ක එකතුවෙනවා අයියට සුබපතන්න...

සුබම සුබ උපන්දිනයක්...!!!

Shadow/හේමලයා said...

ඔන්න මමත් සුබ පතනවා අයියන්ඩිට..හැප්පි හැප්පි Birth Day එකක් වේවා කියලා.....:).....

෴ හසියා ෴ said...

ඇස්වලට කදුළු ආව අක්කියෝ....මම පවුලේ එකා.ඒත පුදුම ආසාවක් තියෙන්නේ නංගියෙක්ට.

මේ අක්කිගේ කතාව කියෙව්වාම අනේ මටත් නංගියෙක් හිටියනම් කියලා හිතුනා‍‍...

ම්ම්ම්ම් ඔන්න ඔයාගේ පවුලේ හැමෝගෙම සිතුම් පැතුම් ඉටුවෙන්න කියලත් අයිය‍ට සුභම සුභ උපනිදිනක් කියලත් මම හදතින්ම ප්‍රාර්ථනා කරනවා.....!!!

වැප් said...

මගෙනුත් සුබ පැතුම් !!!!!!!!!!!

ඔය ඊලඟ කෙටි කාලයත් ඉක්මනට ගෙවිලා ගිහින් ඔක්කොම එක වහලක් යටට එන දිනය වැඩි ඈත නැහැ සහෝ ........

Jay said...

කියන්න වචන නැහැ මේ සටහන ගැන.

ඔන්න මමත් එකතු වෙනවා අයියාට සුභම සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරන්න.

යෝගී... said...

බොරුවක් නෙමෙයි ..දෑස තෙත්උනා කිව්වොත්.
මමත් අයිය කෙනෙක් , මට මේක හොඳටම දැනුනා.
ඔයාගෙ අයියට සුබ උපන්දිනයක් විතරක් නෙවෙයි ..
ඔයාල හැමදෙනාම එකට එකතුවෙලා හිනාවෙන ඒ ලස්සන දවස ඉක්මනින්ම උදාවෙන්න කියල ප්‍රාර්ථනා කරන්නම් !..

-ජය

දුමී said...

සහෝදර ප්‍රේමය ඉතිරෙන සටහන්ක්. ෆා නගෝ, ඔයාගේ අයියන්ඩිට සුභ උපන්දිනයක් වේවා කියලා පතන්නම්.

අගෝස්තු 16, මගේ තත්තාගෙත් උපන්දිනයත් අද. එයත් ඉන්නෙ ලංකාවෙන් ඈත් වෙලා. කටාර් දේශයේ.

පසන් Sid said...

අක්කා මටත් ඉන්නවා නංඟියෙක්.... ඒත් අපි දෙන්නා එච්චර සමීප නෑ.... මේක කියෙව්වාම මට දුකක් දැනුනා ... ඒත් කවදා හරි එයා මාව තේරුම් ගනියි කියලා හිතනවා.......


අයියට සුභම සුභ උපන් දිනයක් ප්‍රර්ථනා කරනවා

Naදී said...

අයියලා කියන්නේ පොඩ්ඩො කාලේ වසවර්ති මාරයෝ උනාට ලොකු වුණාම හොඳම හොඳ යාලුවෝ. අපේ අයියට අම්මා එකා යකා කිව්වට ඇත්තටම එයා යකෙක්මත් නෙමෙයි :)

අයියට සුභ උපන්දිනයක් පතනවා !

Unknown said...

අයියලා නංගිලා ඉන්න හැම ගෙදරක්ම ගොඩක් දුරට එක වගේ. නියම ලිපියක් නංගී, මට මගේ නංගිව මතක් උනා, මමත් අවුරුදු 3කින් එයාව දැකලා නෑ. ඔයාගේ අයියට සුබම සුබ උපන්දිනයක්...!!!

වන්නි said...

Fa, why did you made me cry? No words to make comment. Wait, till my mood becomes normal. Here I have no sinhala unicode. Wait...

Brother wish you many happy returns of the day...!!!

වන්නි said...

ෆා.. ඇත්තටම මගේ ඇස්වලට කඳුලු ආවා... ඔයා කොයිතරම් සංවේදී විදිහට මේ වචන ටික ලියලා තියෙවනවාද. කවුරු කෙසේවෙතත් ඔයාගේ අයියා නම් වාසනාවන්තයෙක්, ඔයා තරම් ආදරේ කරන නංගී කෙනෙක් ලැබෙන්න...

මස්සිනේ... සුභ උපන් දිනයක් වේවා...!!!

Teena said...

@Chanaka Aruna Munasinghe
නංගිලා ඉන්න අයියලනම් හිතන්නේ අනේ මට නංගියෙක් නොහිටියනම් කියලලු
:) කරදරේ නිසා..


@අභීත උදය බණ්ඩාර එදිරිසිංහ
හ්ම්... ඒක ඇත්ත, අයියා මට ඒ බව කිව්වා... ස්තූතියි මේ පැත්තට ආවට..

@චමිදේවා
ස්තුතියි අයියේ..

@Shadow/හේමලයා
බොහොම ස්තූතියි මල්ලියෝ..

@෴ හසියා ෴
ඔයාගේ ප්‍රාර්ථනාවට ගොඩාක් ස්තූතියි මල්ලියෝ.
මේ.. එකා යකාලුනේ.. ඉතින් හසී මල්ලිත් ගෙදර ඉන්න යක් පැටියද?

@වැප්
බොහොම ස්තූතියි සහෝදරයා..

Teena said...

@Ansh Lucky Sri Jay
ගොඩාක් ස්තූතියි සහෝදරී..

@යෝගී
ප්‍රාර්ථනවාට බොහොම පින් අයියේ. ඔයාටත් ඔයාගේ පවුලේ අයටත් ජය..

@දුමී
බොහොම ස්තූතියි අයියණ්ඩි.. ඔන්න ඔයාගේ අප්පච්චිටත් සුභම සුභ උපන්දිනයක් වේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා.

@පසන් තරිඳු
සුභ පැතුමට ස්තූතියි මල්ලි.. නංගි ඔයාට සමීප නොවුනට ඔයාට පුළුවන් නේද එයාට සමීප වෙන්න. මොකද අයියලා නංගිලාට ආදරේ පෙන්නන්න හොරයි. ඔයා ඒ ආදරේ පෙන්නන්න. නංගි ඉබේම ඔයාට ළංවෙයි.

@Naදී
හ්ම්..එහෙව් අයියක් එක්ක නේද එක්කෙනෙක් පහු ගිය කාලේ ඇණ කොටා ගත්තේ. හිහ්!
ස්තූතියි අක්කා සුභ පැතුමට!!


@නිශාචරයා Nishacharaya
ස්තූතියි අයියා.. ඔයාගේ නංගිව ඉක්මනටම දකින්න පුළුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..


@කුෂාන් ඇස්. වන්නිආරච්චි
ස්තූතියි.. :)

Rachintha Jayawardhana said...

ගති. මටත් ඔය මොකෙක් හරි හිටියනං හොඳයි මරාගන්නවත්!

Teena said...

තැන්කූ! මුචාත් එකා යකාද?

priyantha said...

ඇත්තටම මටත් හිතෙනවා මමත් මේ කතාවේ යන්තම් හරි ඉන්නවා කියලා. මමයි නංගියි මල්ලිත් මේ වගේ බැඳිමෙන් ඉන්නේ. අපේ මල්ලිත් නිවාඩු එනකම් අපිත් ඔය වගේම බලන් ඉන්නවා.
ඔබේ අයියාට මගෙනුත් සුභ උපන් දිනයකට ආසිරි (ටිකක් පරක්කු වෙලා හරි)

හෙළයා said...

මට නම් නංගිලා දෙන්නයි. මගේ උපන්දිනේට තෑගි, කාඩ් ගොඩයි ඒක නිසා. ඒ වෙලාවට තමයි කෙල්ලන්ගේ අගේ තේරෙන්නේ.
ඔබේ සොහොයුරාට සුබ උපන්දිනයක් පතනවා ( පොඩ්ඩක් පරක්කු වුනාට සමාවෙන්න)

Teena said...

@priyantha.ඒබී
පරක්කු වෙලා හරි එකතු කරපු
සුභ පැතුමට ගොඩාක් ස්තූතියි
අයියේ..!

@හෙළයා
අපේ අයිය වගේම තමා එහෙනම්.
පරක්කු වෙලා හෝ සුභ පතපු එකයි වටින්නේ..
බොහොම ස්තූතියි සහෝදරයා..

ඉලංදාරියා said...

හුගක් පරක්කු වෙලා මම අයට සුබ පැතුම්....

ඔය හිත්වල හියන් අහිනය ඉක්මනටම සපල වෙන්න කියලත් .....

සුවබර අනගතයකට ..මම ආසිරි පතනවා........

Teena said...

@ඉලංදාරියා - බොහොම ස්තූතියි අපි වෙනුවෙන් ප්‍රාර්ථනාවක් කරාට..

Thanoja Rajapaksha said...

අදමයි මේ පැත්තෙ ආවේ... රන්දිල්ගෙ බස් එකෙන්...

ඔයාගෙ අයියට සුභ පතනවා සුභම සුභ වසරකට!!!

ඒ වගේම මගේ ඇස්වලට උනපු කදුළු පතනවා ඔයාල හතරදෙනාට ඉක්මනින් එකට ඉන්න ලැබේවා කියලා...

Teena said...

බොහොම ස්තූතියි අක්කේ.. මේ පැත්තට ආව එකටත් අපි වෙනුවෙන් කල ප්‍රාර්ථනාවටත්..

nadeesha said...

දන්නෑ කොහොම විස්තර කරන්නද කියල. හිතුනෙ අක්ක කෙනෙක් වත් නංගියෙක් වත් නැති එක හොදයි කියල වගේ. මොකද කියවනකොට මෙහෙම නම් ඇත්තටම වුනොත් ඒ අත්දැකීම මොන වගේ වෙයිද කියල මට හිතාගන්න බෑ.

ලස්සන සටහනක්. හැගීම් අමතක වෙන තරමටම හිතට කාවදින වචන ටිකක්.