August 2, 2010

අවුරුද්දකට පස්සේ….!

බදුල්ලේ මහගෙදරින් බණ්ඩාරවෙල පුංචි ගෙදරට මාරුවෙලා මේ මාසේට අවුරුද්දක් වෙන්නත් යනවා.. කාලේ පියාඹන ඉක්මන. අපිත් දවසින් දවස වයසට යනවා. සුපුරුදු පරිදි නංගිගෙන් ලැබුන රසවත් තේ කෝප්පේ අරන් ජනේලෙන් පැනලා කකුල් දෙක ඇස්බස්ටෝස් වහලට දාලා ජනෙල් පඩිය උඩ වාඩිවෙලා මම කල්පනා කරන්න ගත්තා. තේ කෝපපය තොළ ගාන ගමන් මගේ හිතත් කාලයේ වේගයෙන්ම ආපස්සට පියෑඹුවා.

මීට අවුරුද්දකට කලින් මම රස්සාව නැති පීඩනයෙනුත් ආදරේ නිත්‍යානුකූල වෙච්ච සතුටෙනුත් මිරිකිලා හිටපු කෙල්ලක්. හැමදේම වෙන්නේ හොඳටයි කියලා හිතාගෙන බණ්ඩාරවෙලට ආපු මට උනේ ඇත්තටම හොඳක්ද? මට හිතා ගන්න බෑ. තනියෙන් ඉන්න පුළුවන්ය , ගෙදර දොරේ වගකීම් දරන්න පුළුවන්ය කියලා අම්මටත් කුෂාන් අයියටත් ලොකු ටෝක් දීලා නංගිත් එක්ක මේ ගෙදරට ආපු මට ඇත්තටම ඒ වගකීම් දරන්න පුළුවන් උනාද? ගෙදර ආපු මුල් මාස දෙකක් විතර ගෙදර අය නිතරම මෙහේ ඇවිත් ගිය නිසා මට ඒ තරම් තනි කමක් දැනුනේ නෑ. නංගිත් වැඩට යන්න ගත්තට පස්සේ මහගෙදර කට්ටිය අපේ ගෙදර යන එන එක ටික ටික නැවතුනා. නංගි බදුල්ලේ ඉඳලා එන්න ඕන නිසා එයා එද්දි කොහොමත් හවස 6.45 වත් වෙනවා. මට වැඩ ඇරෙන්නේ 5ට. ඉතින් බෑග් එකත් කර ගහගෙන ඔෆිස් එකෙන් එළියට එන මම ගෙදර යනවද වෙන කොහේ හරි යනවද කියලා දෙගිඩියාවෙන් වැනී වැනී ගෙදර යන්න පිටත් වෙනවා. ඒත් කාත් කවුරුත් නැති පාළු ගෙදරකට යනවා කියලා මතක් වෙද්දි නංගි එනකල් පාරේ ගාඩ් ගලක් උඩ වාඩි වෙලා ඉන්න හිතුන වාර අනන්තයි. අපි කොහේ හරි ගිහින් එද්දි අපි එනකල් කවුරු හරි ගෙදර බලන් ඉන්නවා කියන හැඟීම තිබුනොත් තමා ගෙදරට යන්න හරි හිතෙන්නේ. කොල්ලෙක් වගේ පාරේ රස්තියාදු ගහන්න බැරි නිසාම ගෙදරට ඇවිත් හංගලා තියෙන යතුර අරන් දොර ඇරලා ගෙට ඇතුළු වෙද්දි මට දැනෙන පාළු මුස්පේන්තු තෙත සුවඳ දැනුත් මගේ නහයට දැනෙනවා.

උදේට හදිසියේ වැඩට දුවන නිසා මුළුගේම හැඩිවෙලා. අම්මා හිටියනම් අපිට බැන බැන හරි මුළු ගේම අස්කරලා ඇති. අම්මා ගැන සුන්දර සිතුවිල්ලක් නිසාම නැගුන හිනාවක් ඇතුව මම ඇඳුම වත් මාරු නොකර ගේ අස්පස් කරන්න පටන් ගන්නවා. උදේ උයපු ඉඳුල් භාජන ටික සෝදලා රෙදි ටිකත් සෝදගෙන මාත් නාගෙන නාන කාමරෙන් එනකොටම වගේ නංගිත් මැලවෙලා ගෙට ඇතුළු වෙනවා. එයාටත් එක්ක තේ හදලා මම තේ එක අරන් ජනෙලෙන් පනිනවා වහලට. මේ ගෙදර මම ආසම කරන තැනක්. මහා ලොකු වීව් එකක් නැතත් ඉර බැහැලා යන හැටි මෙතනට ලස්සනට පේනවා.  කූඩුවට පියාඹන කපුටන්ගේ ගෝසාව මැද ඉර බැහැගෙන යනවා. මම ඉන්නේ බණ්ඩාරවෙල කියලා මතක් කරන සීතල සනීප හුළඟත් මේ වෙලාවටම මං වටේ කැරකෙන්න ගන්නවා. හේතුවක් නැතුව නැඟුන කඳුලක් කම්මුල දිගේ  ගලාගෙන ගිහින් තේ කෝප්පෙට වැටෙනවා. බැරල් එක වගේ තියෙන මගේ තේ කෝප්පේ ලුණු රස කරන්න තරම් ඒ පුංචි කඳුල හපනෙක් නෙවෙයි. ඒ වගෙමයි මගේ හිතේ නලියන දුක පාළුව දිය කරන්නත් ඒ පුංචි කඳුලට බැරි උනා. ඇයි මේ හැමවෙලේම කඳුළු?

සමහර දවස් වලට ගෙදරට හොරුපනී කියලා බයේ මම රෑ තිස්සේ ඇහැරිලා ඉඳලා තියෙනවා. මහ රෑ දෙකට නැඟිටලා එක එක සද්ද වලට කන් දි ගෙන ඉඳලා තියෙනවා. කකුල් දෙක වෙව්ලන තරම් බය හිතුන වෙලාවට මම නංගිවත් ඇහැරවනවා. ඒ කෙල්ල මං තරම් බය ගුල්ලෙක් නෙමේ. මගේ කරදරේ ඉවසන්නම බැරි තැන නංගි දවසක් මට කිව්වා “ඔයා නිදා ගන්න මම ඇහැරිලා ඉන්නම්” කියලා. දැන්නම් මතක් වෙද්දිත් හිනා.  ඉතින් ඔය බයට නැවතීමේ තිත තියන්න මම අපේ අයියා කෙනෙක්ට නොවඳිනා වැඳුම් වැඳලා අපේ ගෙදර නවතින්න කැමති කර ගත්තා. මම සැනසීමේ නිදා ගත්ත නම් ඒ මේ අයියා ආවට පස්සේ.  එදා ඉඳලා අද වෙන කලුත් ඒ අයියා මායි නංගියි එක්ක මේ ගෙදර ඉන්නවා. එයා ආපු එක මට ලොකු හයියක් උනා. නැත්නම් බඩු ගේන්න කඩේ යන්න, පොලේ යන්න, බැංකු යන්න වගේ හැම වැඩක්ම මම තනියෙන් කලේ. දැන් ඒවා වලින් මම නිදහස්. ඇත්තටම නිදහස් ද? මම මගෙන්ම ඇහුවා.

තනියම ගෙදර වියදම දරන්න පුළුවන් කියලා අම්මාට චැලේන්ජ් කරපු මට ආයෙත් අම්මාගේ පිහිට පතන්න උනා. දවසින් දවස ඉහළ නඟින බඩු මිල මට ජිවිතේම එපා කරවනවා. මාසේ අන්තිම වෙද්දි පොකට් හිස් වෙද්දි බෑන්ක් බැලන්ස් හිඳිලා යද්දි රස්සාවත් දමලා ගහලා ආයෙත් මහගෙදරට දුවලා යන්න හිතෙනවා. “අනේ අම්මේ, මම පරාදයි! මට නම් තවත් බෑ!” කියලා අඬාගෙන අම්මා ගාවට දුවන්න හිතෙනවා.

ඒත් මේ පුංචි ගෙදරට මම ආදරෙයි. බඩගිනි උනාම මැගී එකක් හදාගෙන කන්න.. හයියෙන් සින්දු දාලා නාන කාමරේ ලිස්සල වැටෙනකල් නටන්න, මහ රෑ දෙක තුන වෙනකල් ඇහැරගෙන ෆිල්ම් බලන්න, පස්සට ඉර එළිය වැටෙන කල් නිදා ගන්න, ඔහේ ෂෝටයි බාටයි දාගෙන ගමයා වගේ හවසට ටවුමේ රවුමක් යන්න , මගේ ආදරේ එක්ක ඇති වෙන කල් බයික් එකේ රවුම් ගහන්න මේ තරම් නිදහසක් මට ලැබුනේ මේ පුංචි ගෙදරට ආවට පස්සේ.. මොන කට්ට කාගෙන හරි මම මේ ගෙදර ඉන්නේ ලේසියෙන් කෙල්ලෙකුට නොලැබෙන සුන්දර නිදහසක් මට ලැබිලා තියෙන නිසා..

දැන් අවුරුද්දකුත් ගත වෙලා..එදා තත්වය සම්පූර්ණයෙන් වෙනස්. දැන් නංගි තමයි ගෙදරට අධිපති. උයන පිහන වැඩ ගේ අස්පස් කරන වැඩ ඔක්කොම චූටි මැඩම්ගෙන් තමයි සිද්ද වෙන්නේ. කොටින්ම අයියා දැන් ගෙදරට ගේන්න අවශ්‍ය බඩු ගැන අහන්නෙත් නංගිගෙන්. මට දැන් මගේ ඇඳුම් ටික හෝදගන්නවා ඇරෙන්න වෙන කිසිම වැඩක් නැති තරම්..!

මගේ තේ කෝප්පෙත් ඉවර වෙලා.. පපුව පුරවලා ලොකු හුස්මක් අරගෙන හිතේ තිබ්බ දුක ඒ හුස්මට දිය කරලා මම ඒ හුස්ම පිට කරා. දැන් හිත සැහැල්ලුයි. දුවල ගිහින් බ්ලොග් එකක් ලියන්න ඕන. හිත කියනවා. අම්මා මට දීපු “Quotes and Sayings” පොතක මේ වගේ දෙයක් තිබුනා මට මතකයි.

“When life gives you a hundred reasons to cry, show life that you have a thousand reasons to smile.”

“ ජිවිතය ඔබට හඬන්නට හේතු සියයක් ගෙන දෙන විට, ඔබට සිනාසීමට හේතු දහසක්  ඇති බව ඔබ ජිවිතයට පෙන්වන්න”

ඕං බලාපන් ජීවිතය, මට හිනා වෙන්න කරුණු දාහක් නැතත් දහයක් වත් තියෙනවා.. ඒ නිසාම මම ජීවත් වෙනවා…

14 comments:

Naදී said...

මචෝ උඹ මේකේ අන්තිමට හිනාවෙන්න හිත හදාගත්ත එක නම් හැබෑම වටිනවා. හැමතිස්සෙම කුනුකුනු ගාන මට නම් හොඳ පාඩමක්. උඹේ පොඩි ගේ කෑල්ල රටක් වටින ලස්සන තැනක්. අයියයි නංගි බබයි එක්ක පුංචි පවුලකුත්
තියනවනේ. උඹ ගන්න හැම හුස්මකම වටිනාකම දන්න කොණ්ඩ කුරුල්ලෙකුත් ඉන්නවනේ.... :D අතේ සතේ නැති වුණත් උඹට ‍ෆැෂන් බග් යන්න මං ඉන්නවනේ. ඒ නිසා හිනාවෙලා ඉමු බං.

චමිදේවා said...

ඔය පාලුව තනිකම නැතිවෙන දවස ඔය අවුරුද්ද ගෙවුනා වගේ ඉක්මනටම ඒවි... ටිකක් ඉවසලා හිටින් නංගියේ...

පසන් තරිඳු said...

මම නම් ඉතින් ගෙදරට වෙලා කකා බිබී ඉන්න නිසා තාම ඕවගේ බරපතලකමක් නම් දැනෙන්නේ නෑ.. ඒත් අක්කගේ කාලේ වෙනකොට මොනවා මොනවා වේද දන්නෙත් නෑ..... ඕවා ගැන වැඩිය හිතන්නේ නැතුව හැමදේම හොදටයි වෙන්නේ කියලා හිතාගෙන සතුටින් ඉන්න....... :-)

roylyfernando said...

"ජීවිතේ මල් අම්මා ඉන්නකම්."

කවුරු කොහොම කිව්වත් මට නම් ඇත්ත ඕකයි. :P

ශාකුන්තල said...

මමත් පොඩි flashback පාරක් දැම්මා මේක කියවලා... බ්ලොගී අක්කට වගේම මටත් තියෙනවා අතීත කතාවක් නං. නැට්ට පිටිං අලිත් මැරෙන කාලේ ඕව නං මොනවද?

ලෝකේ පෙරලුනත් නොසැලී ආතල් එකේ කල් ගෙවන එක තමයි ජීවිතේ.... :D

Shadow/හේමලයා said...

ජීවිතේ....තත්පරයෙන් තත්පරය ගතවෙන අපේ ජීවිතය.....හිත අතීතයේ නවතින හැම මොහොතකම දෙගුනයක් වේගයෙන් දිවයන ජීවිතය...

නිෂ් said...

නැවගිලුනත් ඉන්න ඔනේ හැම මොහොතකම සතුටින්...
that's the my theory gal

ෆා said...

@Naදී
තෑන්කස් අක්කා.. ඔන්න ආයෙත් සුභ උපන්දිනයක් වේවා..!
හ්ම්.. ඔය වගේ සෙට් එකක් මං වටේ හිටියේ නැත්නම් බ්ලොගි මෙලහකටත් සුං. එහෙනම් යමන් ලබන ඉරිදා ෆැසොං බග්.

@චමිදේවා
හ්ම්..ඒ දවස ගැන හීන දැක දැක තමයි කල් අරින්නේ සහෝ..
ගැළවුම්කාරයා එක්ක ගිය දාට ඔක්කොම ප්‍රශ්න ඉවරයි කියල තමා මාත් අදහන්නේ.

@පසන් තරිඳු
මාත් ඔහොම තමා මලේ හිටියේ..දන්නැතුවම අපි වැඩිහිටි වෙලානේ. දැන් ඉතින් හැල්මේ දුවනවා..

@roylyfernando
කතාව ඇත්ත සහෝ.. මං දෙවියන්ව විශ්වාස නොකරන්නේ ඒ නිසා. මගේ ජීවමාන දේවතාවිය මගේ අම්මා..

@ශාකුන්තල
යප්.. දැන්නම් ගොඩක් දුරට ජීවිතේ ආතල් තමා.. ඒත් මේ අතීතෙට ගිහින් අඬන හිත තමා නවත්ත ගන්න බැරි..

@Shadow/හේමලයා
කාලය නම් වේගයෙන් ඉස්සරහට දුවනවා..
ඒත් මගේ හිත නම් දුවන්නෙම අතීතයට.. can't help it!

@නිෂ්
උත්සහ කරනවා සිස්.. එහෙම ඉන්න බැරි කමකුත් නෑ. සිතුවිලි නිම්නයට සාදරෙන් පිළිගන්නවා ඔයාව..

Bunny ! said...

අර කියන්න වගේ ජිවිතේ මල් අපේ අම්මා ඉන්න කල් තමා ඉතින් :D

මට නම් ඔහොම කේස් එකක් නැ..ආතල් එකේ ඉන්ට ඇහැකි :D
හැබැයි තනියෙම ඉන්න නම් පුදුම ආසාවක් මටත් තියෙනවා...කාගෙවත් බලකිරීම් නැතිව ඉන්න තියෙනවනම් ඊට එහා දෙයක් නැ...
හැබැටම අක්කෙ බණ්ඩාරවෙල කොයි හරියෙද ?

said...

ඇත්තටම තනියම ගෙදරක ඉන්න එක අමාරුද? මන් මේ පෙරුම් පුරාගෙන ඉන්නේ තනියම ගෙදරක ජීවත් වෙන එක ගැන

ෆා said...

බනියෝ--
හ්ම් ඔව් මල්ලි.. අම්මා ඉන්න කල් හොඳා..
අඹතැන්න වත්ත දන්නවද? ආන්න එහේ.. (මේ අඹයි මගෙයි අතර මොකද්දෝ ආත්මගත බැඳීමක් තියෙනවද කොහෙද)

ම යන්න--
නෑ..එහෙමටම අමාරුවක් නෑ.. ආපු අළුත ටිකක් අමාරු උනා. දැන් ගානක් නෑ.. හරිම නිදහස්!! ඒ පාරමිතාව ළඟදීම ඉෂ්ඨ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

මුචලින්ද said...

මටත් අඬන්න හේතු විස්සක් විතර තිබ්බට හිනාවෙන්න හේතුත් නැතුවම නෙමෙයි!

Ansh Lucky Sri Jay said...

මගේ ජීවිතේමද මන්දා මේ ලියලා තියෙන්නෙ.

ෆා said...

@මුචලින්ද
හ්ම්.. එහෙනම් හිනා වෙමු..අඬන හේතු ටික යට ගහලා.
හැබැයි අඬන්නත් අමතක කරන්න එපා..

@Ansh Lucky Sri Jay
මේ බෝට්ටුවේ මං තනි වෙලා නෑ ඒ කියන්නේ..