January 18, 2009

බස් රථය


ඒකාකාරී ජීවිතයේ තවත් වැදගත් කොටස් කාරයෙක් අපේ ගමට යන එකම එක බස් රථය. දවසට දෙපාරක් හැමදාම බස් එකේ යන නිසා බස් එකත් මට හරිම සමීප කෙනෙක් වෙලා. උදේ 6.30ට ඉස්කෝලේ ළමයි, වැඩට යන ලොකු ළමයි ගෙදර ඉන්ඩ බැරුව ටවුමට යන ළමයි ඔය කියපු හැට හුටහමාරම පටව ගත්ත බස් එකට මාත් ගොඩ වෙනවා.

මම හැමවෙලේම බස් එකට නඟින්නෙ ඉස්සරහ දොරෙන්. කොන්දොස්තර අයියා නිතරෝම කෑගහන්නෙ "ඉස්සරහට යන්න ,ඉස්සරහට යන්න" කියලා. ඉතින් ඉස්සරහම ඉන්න එක හොඳා. ඔන්න ඔතනම ඉන්නවා සරස්වතී ඉස්කෝලෙට යන දෙමළ ගෑණු ළමයි ටිකක්. මේ ළමයින්ගෙ විනෝදාංශය තමයි මම නැග්ග ගමන් මගේ ඔළුවෙ ඉදන් කකුලේ නිය පොත්ත දක්වාම බලලා මොනා හරි ඇදයක් හොයාගෙන හිනා වෙන එක. අනේ ඉතිං මට දෙමළ පුළුවන් කියලා ඒ අසරණ ළමයි දන්නෙ නෑනේ. මාත් ඉතිං මෝඩි වගේ එයාලා කියන ඒවා අහන් යනවා. මටත් දවසක් එයිනේ, එදාට අමතන්නම්. ඔය අතරෙ දහසක් වැලමිට ඇනීම්, කකුල් පෑගීම්, බැන ගැනීම් , බ්රේක් අතර බස් එක 7.00 ට විතර බදුල්ලට ළඟා වෙනවා. ඊට පස්සෙ මම නිකං කරත්තෙට අහුවෙච්ච කජු ලෙල්ල වගේ වැනි වැනී office එකට යනවා.

ඊට පස්සෙ හවස් බාගෙ කතාව,පොතේ හැටියට බස් එක 5.45ට විතර අපේ halt එකට එන්න ඕන. ඒත් සතියකට දවස් දෙකක් විතර අපේ බස් පොඩ්ඩට අමුතු පහේ ලෙඩ හැදෙනවා. නම් වශයෙන් කියනවා නම් ටයර් මාරැ කිරීම, දුනු පැනීම, තෙල් බ්ලොක් විම් ඇතුළුව මට නොතේරෙන එක එක ජාතියේ ලෙඩ ජාති. ඒ වගේ දවස් වලට නම් අපේ ගමේ සෙට් එක මාත් ඇතුළුව , හොදට උල් කරන ලද ලොකු කටු ටිකක් අරන් කකා ඉන්නවා රෑ 7, 8 වෙනකල්. මාරම චාටරයක්.

හැබැයි බස් එක වෙලාවට ආපු දවස් වලට නම් අපිට මාර ජොලි . බස් එක දැක්ක ගමන් කට්ටියම එක රොත්තට දුවන් යනවා බස් එක ගාවට. බස් එකට ආදරේට නෙමෙයි සිට් අල්ලගන්න. ඔය වෙලාවට ඉතිං මාත් ගෑණු ළමයෙක් කියන එක අමතක කරලා සාරිය උස්සං දුවනවා. හවසට කොහොමත් මට දෙයියනේ කියලා සිට් එකක් හම්බ වෙනවා.

මම බස් එකේ යද්දි ජනේලෙන් එළිය බලන් පාඩුවේ යන්න කැමතියි. ගොඩක් වෙලාවට ‍බ්ලොග් එකට ලියන්න ගොඩක් දේවල් මතක් වෙන්නෙ ඔය වෙලාවට. ඒ ගමන් පුංචි නින්දකුත් යනවා. නින්දත් නො නින්දත් අතර යන ඔය ගමන ඇණ හිටින්නෙ රියදුරු මහත්තයට චූන් වෙලා "බ්රාාාාාාා........ස්" ගහලා බ්රේක් එකක් ගහපු වෙලාවට. මගේ ඔළුව වැදිච්ච සිද්දිය කවුරැත් දැක්කද කියලා පොඩ්ඩක් වට පිට ඇහැ ගහලා මම ආයෙත් මගේ සුන්දර සිහින ලෝකෙට ඇතුළු වෙනවා. කොච්චර නම් නිදා ගත්තත් ගේ කිට්ටු වෙද්දි මට ඉබේම ඇහැරෙනවා. එකම එක දවසක් විතරක් ගෙදරට වංගු දෙකක් විතර පල්ලෙහාට ගිහිං බැහැලා කට්ට කලුවරේ බයට සින්දු කිය කිය ගෙදර ආවා. එදා ඉදං අද වෙනතුරු මම ගේ කිට්ටු වෙද්දි පොඩ්ඩක් ඇලට් එකේ ඉන්නෙ.

අඩි 5යි අඟලක් උස මං වගේ කොට ජීවිත වලට අල්ලන්න තබා හිතන්නවත් බැරි තරම් උසක තියෙන බෙල් එකත් විභාගේ පේල් වෙච්ච දොස්තර මහත්තයට කියලා ගහගෙන මම අපේ ගේ ගාවින් බහිනවා ගෙදර ඉන්න බල්ලො දෙන්නගේ උණුසුම් පිළිගැනීම මැද.

ඔන්න ඕකයි මගේ බස් රථයේ කථාව.........!

12 comments:

චමිල said...

"මගේ ඔළුව වැදිච්ච සිද්දිය කවුරැත් දැක්කද කියලා පොඩ්ඩක් වට පිට ඇහැ ගහලා මම ආයෙත් මගේ සුන්දර සිහින ලෝකෙට ඇතුළු වෙනවා"

මට ඕක සිය පාරක් විතර වෙලා තියෙනවා.. කන නෝන්ඩියේ හැටියට ආයේ නිදා ගන්න එකම තමා හොඳ ඇහැරගෙන ඉන්නවට වැඩිය

Nadee said...

අනේ අනේ සහෝදරී.....බස්තියන් පයින් ගියෙත් ඔය නිසාලු.....

malee_msg said...

ඒ කියන්නේ ඔයාලා යන්නේ හැමදාම එකම බස් එකේ කියන එක... අනේ අපිට කොහෙද එහෙම පිනක් දවසින් දවස එක එක බස් හේතුව පාරේ බස් වැඩියි.. ඉතිං එක එක දවසට එක එක අය..

මම නම් නිදාගන්නේ නෑ අප්පා ඒසී එකක නැග්ගොත් විතරක් පොඩ්ඩක් ඇස් දෙක පියා ගන්නවා..
හැබැයි ජනෙලේ අයිනේ වාඩි උනොත් නම් මම බහින තැනට එනකම් සිහින ලොකෙන් මෙහාට එන්නේ නෑ
අම්මා මුත්තා කිව්වත්

T.Kanch said...

අනේ මටත් බස් වල ගිය හැටි මතක් උනා....
මට නමි බඩ පැලෙන්න හිනා මේක කියවලා..:D

නිලන්ත පියසිරි said...

සුන්දර සටහනක්, බස් ගැන බස් උදෙසා තුති.

hashu said...

ඕ බස් කතා බස්.

මගෙත්නම් අනන්තවත් ඔළුව වැදිලා තියෙනවා නිදන්න ගිහින් බස් එකේ. ඒත් ඉතින් නෝන්ඩි නිසා අත ගහලවත් බලන්නේ නැහැ. දවසක් 135 බස් එකෙදි ඔළුව හිරෙන්නම වැදුනා.

නිදන එකනම් ගති තමයි බස් එකේ. හැබැයි තද නින්දට වඩා අර ඩෝප්කාරයාවගේ නින්දත් නොනින්දත් අතර ඉන්න එක ආතල්. හරියට මලක් ගහල වගේ.

දවසක් 155 බස් එකට ටචුන්හෝල් වලින් නැග්ගා බ්‍රිජට්ස් වලින් කෙල්ලෝ දෙන්නෙක්, කොටට ඇදලා. ඉතින් ඒක බලන් ඉන්නකොට නින්ද ගිහිල්ලා, බම්බා IAS එක ලගින් බහින්න ඕන එක බැස්සේ වැල්ලවත්ත රොක්සි එක හරියේදී. බලන කොට කෙල්ලො දෙන්නත් බැහැල ගිහිල්ලා, මටත් සොරි වෙලා :)

ඉස්කෝලේ යනකාලේනම් බස් එක ආතල්, ඒත් වැඩට යන කොටනම් චාටර්.

Krishan said...

නියම කතාව සහොදරී....
මගෙත් ඔලුව ගෙඩි ගෙහෙන්නම වෙදිල තියෙනව,,,,,
:-)

Charith Weerakkody said...

මට නම් බස් එකේ යනකොට ඔලුව විතරක් නෙමේ, කණ්ණාඩියත් වැදිල කැඩිල තියෙනව තුන් පාරක්ම....:D

nidhahasa said...

අගෙයි . බි පෙ සි :D

said...

අපෝ බස් ගැනනම් කියලා වැඩක් නැහැ. මම නම් පුළුවන් හැම වෙලේම කෝච්චියේ තමා යන්නේ. කොන්දොස්තරලත් නැහැ. නිකන් බ්‍රේක් ගහන්නේත් නැහැ

ආගන්තුකයා said...

මට තියෙන්නේ වෙනම බස් අත්දැකීමක්... ගෙදර යනකොට පැය 5 විතර යන්න ඕනි නිසා අනිවා නිදා ගත යුතුයි... ඉතින් එක දිගට පැය 3ක් විතර නිදි... බහිකොට ඔලුව ගෙඩිගැහිලා හැමෝටම වෙන දේ නිසා හිනාවෙන්න කවුරුත් නෑ....

නිලන්‍ත said...

බලනකොට හැමෝගෙම ඔලුවල ගෙඩි හූ...හූ..... අතගාලා බැලින්නං මගේ ඔලුවත් ගෙඩිගැහිලෝ