August 16, 2010

මගේ තරඟකාරයට ආදරෙන්..!

අයියයි මායි
මේ සටහන මම මාස ගානක් තිස්සේ ලියනවා.. ලියන්න පෑන අතට ගන්න හැම මොහොතෙම මගේ සිතුවිලි හිරවෙලා විසිරිලා යනවා.. ඔහොම කල් ගිහින් ගිහන් තිබ්බ ‍මේ සටහන සම්පූර්ණ කරන්න මට උත්තේජකයක් උනේ අද දිනය..
 
අගෝස්තු 16
 
අද මට ලියන්නේ මං ඉපදෙන්න කලින්ම මගේ තරඟකාරයෙක් උන පුද්ගලයෙක් ගැන.. මට කලින් මේ ලෝකේ එළිය දකින්න පින් කරපු තරඟකාරයෙක් ගැන.. මට කලින් මගේ අම්මට “අම්මා” කියන්න පින් කරපු තරඟකාරයා ගැන.. මට කලින් මගේ දෙමව්පියන්ගේ ආදරය ලබන්න එයාලගේ හුරතලා වෙන්න තරම් වාසනාවන්ත උන මගේ තරඟකාරයා ගැන.
 
ඒ වෙන කවුද ඉතින්..මගේම ආදරණිය අයියණ්ඩි මිසක්..
 
පුංචිකාලේ අයියගෙයි මගෙයි බැඳීම කොයි වගේද කියන්න මට තියෙන්නේ අපැහැදිලි මතකයක්.. මට මතක හැටියට නම් අපි බොහොම ආදරෙන් හිටපු අයිය නගෝ ඩබලක් නම් නෙමේ.. අපි දෙන්නගේ රණ්ඩු බේරන්න එන අම්මගෙන් හැමදාම ගුටිකෑවේ අයියා.. වැරැද්ද මගේ අතේ තිබුනත්.. මට මොන්ටිසෝරියේ තිබ්බ කොන්සට් එකේදි හම්බ උන හාවගේ වෙස් මූණ ඔයා උදුරගෙන දාගනිද්දි මම හූ තියාන ඇඬුව මට මතකයි.. ඒත ඔයාට ඉස්කෝලෙන් හම්බ වෙන කිරි පැකට් එක බොන්නැතුව හැමදාම මට ගෙනත් දෙනවා.. ඔයාට ටීවි එකේ තන්ඩර් කැට් බලන්න ඕන උනහම මට ඕන වෙනවා වෙන චැනල් එකක රෑකඩ නාට්‍ය බලන්න.. ඒත් හැමදාම හවසට ඔයා මාව ළඟට අරන් ඉස්කෝලෙ පොතේ හාවයි අලියයි වඳුරයි පාලම හදපු කතාව කියලා දුන්න..
 
මට අවුරුදු 6දී තාත්තා අපිව තනිකරලා මේ ලෝකෙන් සමු ගත්තට පස්සේ ඔයාටත් මටත් නංගිටත් එක වහලක් යට ඉන්න තිබුන අවස්තාව නැති උනා..
 
මං හිතන්නේ අපේ බැඳීම දැඩි වෙන්න පටන් ගත්තේ ඒ අවාසනාවන්ත සිද්ධියෙන් පස්සෙ.. මට මතකයි තැන තැන කොටුවෙලා හිටපු අපි ඔක්කොම එකට එකතුවෙන්නේ ඉස්කෝලෙ නිවාඩු කාලෙට මහගෙදරදි..ඔක්කොම එකතු උනාම  අපි අට දෙනෙක් විතර..ඒ ආවම දවස ඉවර වෙනකල් සෙල්ලම් ගෙවල් දාගෙන සෙල්ලම් බත් උයාගෙන ගෙවපු ඒ කාලෙ තමා මගේ ජීවි‍තේ හොඳම කාලෙ.
 
නිවාඩු ඉවර වෙලා ආයේ හිටපු තැන් වලට යන්න පිටත් වෙනකොට පොඩිකමට උනත් ඔයා ඒ දුක පෙන්නුවේ නෑ.. මං තමා හොටුපෙත්ති වගේ අඬාගෙන යන්නේ. ඔන්න යන්තම් මම 5වසරේ ශිෂ්‍යත්වේ ගොඩ දාගත්තට පස්සේ තමා අපිට එකට ඉන්න වාසනාව පෑදුනේ. ඊට පස්සේ තමා අපේ යුද්දේ පටන් ගත්තේ.. පුංචි පුංචි දේවල් වලටත් මං කොච්චර නම් පැටලෙන්න ඇද්ද ඔයා එක්ක.
 
කාලේ ගෙවිල මං ළමිස්සියක් උනාම තමා ඔයාට තවත් ප්‍රශ්න පටන් ගත්තේ.. ඔයා විතරක් නම් මදැයි! ලොකු අම්මගේ පුතාලා තුන්දෙනා එකතු උනාම මට අයියලා හතර දෙනයි. ඉතින් ඔයාලගේ ඇස් වහලා මට කොල්ලෙක් දිහා බලන්නවත් බැරි උනා.. මගේ පුංචි පුංචි ප්‍රේම කතා වලට පටන් ගත්ත මුලම නැවතීමේ තිත තියන්න උනේ ඔයාලගේ මේ හමුදා බලකාය නිසා.. ඔන්න ඔයා මගේ තරහකාරයා වෙච්ච පළවෙනි තැන.. ඒත් මං පස්සේ තේරුම් ගත්තා.. ඔයාලගේ ආරක්ෂාව නිසා මට කොයි තරම් අගයක් ලැබුනද කියලා..
 
වයසෙන් මෝරද්දි තමා අපි ‍ගොඩාක්ම සහෝදර බැම්මෙන් බැඳුනේ… මං වැඩ ඇරිලා එන වෙලාවට ඔයා මගේ කම්ප්‍යුටරේ අයිති කරගෙන.. ඉතින් මං බොරු නෝක්කාඩුවක් කියාගෙන ඔයාට ලං උනාම ඔයා මාව එළවනවා “යනවා යනවා, බස් ‍‍ග‍‍ඳේ බෑ ළඟ.. නාලා එනවා” කියලා. නාලා ආවත් ඔයා නෙමේ තව පැයකට එතනින් නැඟිටින්නේ.. මහ රෑ පාන්දර කියලා  වෙනසක් නැතුව ඔයා ගේම්ස් ප්ලේ කරද්දි මං තමා ඔයාගේ තේ සැපයුම් කරු උනේ. මහ රෑ 1ටත් තේ හදාගෙන ඔයා ප්ලේ කරන ගේම් එක දිහා බලා ගෙන මමත් උන්නා.. “අයියටම හරියන නංගි” ඔයා IGI එකේ වීර සෙබලා වෙලා ඉද්දි මං ඔයාට සප් එක දෙනවා දැකලා දවසක් අම්මා එහෙම කියලා ගියා…
 
රේස් ෆිල්ම් එක ආපු කලේ ඒකෙ ඔයා ආස කරපු සින්දු වල ලිරික්ස් මං හොයාලා ගෙනත් දුන්නම ටීවි රිමෝට් එක මයික් එක කරගෙන අපි තුන්දෙනාම මහ හයියෙන් ඒ සින්දුව කිව්වා ඔයාට මතකද?
ඔය මොන ෆිට් එක තිබුනත් මගේ හිත ගිය කොල්ලෙක් ගැන ඔයත් එක්ක කතා කරන්න නම් මං බය උනා.. ඒ නිසා ඒගැන ඔයාගෙන් හංගන්න උනා මට. ඔය කාලෙදි තමා අපේ ඒ සුන්දර ජීව‍තේට සමුදෙන්න ඔයාට පිටරටකට යන්න අවස්ථාවක් ආවේ. අම්මා ළඟ නැති නිසාවෙන් ඔයාට ගෙනියන්න අවශ්‍ය කරන ගොඩාක් දේවල් පිළියෙල උනේ මගේ සහ නංගිගේ අතින්…
 
ඔයාට මතකද දන්නෑ.. ඔයා යන්න හෙටයි කියලා අපි දෙන්න ගේ ඉස්සැරහ පඩිපෙලට වෙලා අපේ අනාගතේ ගැන කතා කර කර ඉද්දි මගේ හිත ගත්ත පුද්ගලයෙක් ගැන ඔයාට කියන්න මං කීපාරක් නම් කට හැදුවද? ඒත් මට ඒතරම් හයියක් ආවේ නෑ ඒගැන ඔයාට කියන්න….
 
අන්තිමේ දී ඒ දවස උදා උනා.. ඔයා මාවයි නංගිවයි තනිකරලා නන්නාඳුනන ඈත රටකට යන්න පිටත්වෙන දවස.. කොච්චර නම් තදින් හැඟීම් හිර කරගෙන හිටියත් ඔයා යන්න හදන අන්තිම මොහොතේ මට මාව පාලනය කරගන්න බැරුව ගියා.. මං අඬාගෙන ඔයාට තුරුළු උනාම ඔයා කිව්ව වචන මට තාමත් මතකයි.. “අඬන්න එපා නංගි, ඔයාව විශ්වාස කරලා තමා මම පොඩි නංගිවත් දාලා යන්නේ, මං එනකල් ඔයා එයාව බලාගෙන ලස්සනට ඉන්න ඕන” .. ඔයාගේ ඒ වචන වල ශක්තියමට වෙන්න ඇති අද මං මෙහෙම ඉන්නේ.. ඒත් අම්මයි ඔයයි ළඟ නැති අඩුව මට වචන වලින් පහදන්න බෑ…
 
මේ ඔයා නැතුව ගෙවන දෙවනි අවුරුද්ද.. තව අවුරුද්දක් මං ඇඟිලි ගනිනවා.. අවුරුදු ගානකට පස්සේ උදාවෙන ලස්සන දවස වෙනුවෙන්.. ඔයා අම්මා මම නංගි අපි හතර දෙනාම අවුරුදු 4කට පස්සේ එක වහලක් යට මුණගැහෙන ඒ ලස්සන දවස වෙනුවෙන්..   මෙහෙම දුරට ගිහින් එකිනෙක්කෙනාගේ මුහුණු දකින්නැතුව ඔයයි අම්මයි කැප වෙන්නේ අපේ ලස්සන අනාගතය වෙනුවෙන් කියලා මං දන්නවා.. ඒ දවස වෙනකල් මං මගේ හැම පුංචි පුංචි හීනයක්ම එකතු කරලා තියාගෙන ඉන්නම්.. එතකල් මතක තියා ගන්න. ඔයා තමා මේ ලෝකේ ඉන්න හොඳම සහෝදරයා….!
 
ඔයාට සුභ උපන් දිනයක්, මගේ ආදරණිය අයියේ……..!
 

August 3, 2010

කට කහනවට……!

දිල්ෂාන් ව ඉස්සෙල්ලා බැට් කරන්න දැම්මේ අපරාදේ..
මෙහෙම කරා නම් මැච් එක දිනන්න තිබුනා......
ඔයා සයන්ස් කරේ අපරාදේ කොමස් කරා නම් ..
බෑන්ක් ජොබ් එකක් වත් හම්බෙන්න තිබුනා...
ගම්මිරිස් දාලා හදනවට වඩා මිරිස් දාලා බලන්න..
එතකොට ‍හොද්ද මීට වඩා රසට එනවා...
දැන් ඉතින් ඇඬුවා කියලා ගිය මනුස්සයා එන්නේ නෑ..
කඳුළු පිහිද ගෙන හිත හදා ගන්න බලන්න...
මේ විදිය වැරදියි.. අපේ අය මෙහෙම අටෑක් කරා නම්..
යුද්දේ මීට කලින් දිනන්න තිබුනා..
අපෝ එයා ඩෙනිම් කලිසම් ඇන්දම කැතයි...
ෂල්වාර් එකක් වත් ඇන්ද නම් හොඳට තියෙයි..

උපදෙස් දෙන්න ලේසියි.. කවද හරි තමනුත් ඒ ප්‍රශ්නෙට මුහුණ පාන කල්....

August 2, 2010

අවුරුද්දකට පස්සේ….!

බදුල්ලේ මහගෙදරින් බණ්ඩාරවෙල පුංචි ගෙදරට මාරුවෙලා මේ මාසේට අවුරුද්දක් වෙන්නත් යනවා.. කාලේ පියාඹන ඉක්මන. අපිත් දවසින් දවස වයසට යනවා. සුපුරුදු පරිදි නංගිගෙන් ලැබුන රසවත් තේ කෝප්පේ අරන් ජනේලෙන් පැනලා කකුල් දෙක ඇස්බස්ටෝස් වහලට දාලා ජනෙල් පඩිය උඩ වාඩිවෙලා මම කල්පනා කරන්න ගත්තා. තේ කෝපපය තොළ ගාන ගමන් මගේ හිතත් කාලයේ වේගයෙන්ම ආපස්සට පියෑඹුවා.

මීට අවුරුද්දකට කලින් මම රස්සාව නැති පීඩනයෙනුත් ආදරේ නිත්‍යානුකූල වෙච්ච සතුටෙනුත් මිරිකිලා හිටපු කෙල්ලක්. හැමදේම වෙන්නේ හොඳටයි කියලා හිතාගෙන බණ්ඩාරවෙලට ආපු මට උනේ ඇත්තටම හොඳක්ද? මට හිතා ගන්න බෑ. තනියෙන් ඉන්න පුළුවන්ය , ගෙදර දොරේ වගකීම් දරන්න පුළුවන්ය කියලා අම්මටත් කුෂාන් අයියටත් ලොකු ටෝක් දීලා නංගිත් එක්ක මේ ගෙදරට ආපු මට ඇත්තටම ඒ වගකීම් දරන්න පුළුවන් උනාද? ගෙදර ආපු මුල් මාස දෙකක් විතර ගෙදර අය නිතරම මෙහේ ඇවිත් ගිය නිසා මට ඒ තරම් තනි කමක් දැනුනේ නෑ. නංගිත් වැඩට යන්න ගත්තට පස්සේ මහගෙදර කට්ටිය අපේ ගෙදර යන එන එක ටික ටික නැවතුනා. නංගි බදුල්ලේ ඉඳලා එන්න ඕන නිසා එයා එද්දි කොහොමත් හවස 6.45 වත් වෙනවා. මට වැඩ ඇරෙන්නේ 5ට. ඉතින් බෑග් එකත් කර ගහගෙන ඔෆිස් එකෙන් එළියට එන මම ගෙදර යනවද වෙන කොහේ හරි යනවද කියලා දෙගිඩියාවෙන් වැනී වැනී ගෙදර යන්න පිටත් වෙනවා. ඒත් කාත් කවුරුත් නැති පාළු ගෙදරකට යනවා කියලා මතක් වෙද්දි නංගි එනකල් පාරේ ගාඩ් ගලක් උඩ වාඩි වෙලා ඉන්න හිතුන වාර අනන්තයි. අපි කොහේ හරි ගිහින් එද්දි අපි එනකල් කවුරු හරි ගෙදර බලන් ඉන්නවා කියන හැඟීම තිබුනොත් තමා ගෙදරට යන්න හරි හිතෙන්නේ. කොල්ලෙක් වගේ පාරේ රස්තියාදු ගහන්න බැරි නිසාම ගෙදරට ඇවිත් හංගලා තියෙන යතුර අරන් දොර ඇරලා ගෙට ඇතුළු වෙද්දි මට දැනෙන පාළු මුස්පේන්තු තෙත සුවඳ දැනුත් මගේ නහයට දැනෙනවා.

උදේට හදිසියේ වැඩට දුවන නිසා මුළුගේම හැඩිවෙලා. අම්මා හිටියනම් අපිට බැන බැන හරි මුළු ගේම අස්කරලා ඇති. අම්මා ගැන සුන්දර සිතුවිල්ලක් නිසාම නැගුන හිනාවක් ඇතුව මම ඇඳුම වත් මාරු නොකර ගේ අස්පස් කරන්න පටන් ගන්නවා. උදේ උයපු ඉඳුල් භාජන ටික සෝදලා රෙදි ටිකත් සෝදගෙන මාත් නාගෙන නාන කාමරෙන් එනකොටම වගේ නංගිත් මැලවෙලා ගෙට ඇතුළු වෙනවා. එයාටත් එක්ක තේ හදලා මම තේ එක අරන් ජනෙලෙන් පනිනවා වහලට. මේ ගෙදර මම ආසම කරන තැනක්. මහා ලොකු වීව් එකක් නැතත් ඉර බැහැලා යන හැටි මෙතනට ලස්සනට පේනවා.  කූඩුවට පියාඹන කපුටන්ගේ ගෝසාව මැද ඉර බැහැගෙන යනවා. මම ඉන්නේ බණ්ඩාරවෙල කියලා මතක් කරන සීතල සනීප හුළඟත් මේ වෙලාවටම මං වටේ කැරකෙන්න ගන්නවා. හේතුවක් නැතුව නැඟුන කඳුලක් කම්මුල දිගේ  ගලාගෙන ගිහින් තේ කෝප්පෙට වැටෙනවා. බැරල් එක වගේ තියෙන මගේ තේ කෝප්පේ ලුණු රස කරන්න තරම් ඒ පුංචි කඳුල හපනෙක් නෙවෙයි. ඒ වගෙමයි මගේ හිතේ නලියන දුක පාළුව දිය කරන්නත් ඒ පුංචි කඳුලට බැරි උනා. ඇයි මේ හැමවෙලේම කඳුළු?

සමහර දවස් වලට ගෙදරට හොරුපනී කියලා බයේ මම රෑ තිස්සේ ඇහැරිලා ඉඳලා තියෙනවා. මහ රෑ දෙකට නැඟිටලා එක එක සද්ද වලට කන් දි ගෙන ඉඳලා තියෙනවා. කකුල් දෙක වෙව්ලන තරම් බය හිතුන වෙලාවට මම නංගිවත් ඇහැරවනවා. ඒ කෙල්ල මං තරම් බය ගුල්ලෙක් නෙමේ. මගේ කරදරේ ඉවසන්නම බැරි තැන නංගි දවසක් මට කිව්වා “ඔයා නිදා ගන්න මම ඇහැරිලා ඉන්නම්” කියලා. දැන්නම් මතක් වෙද්දිත් හිනා.  ඉතින් ඔය බයට නැවතීමේ තිත තියන්න මම අපේ අයියා කෙනෙක්ට නොවඳිනා වැඳුම් වැඳලා අපේ ගෙදර නවතින්න කැමති කර ගත්තා. මම සැනසීමේ නිදා ගත්ත නම් ඒ මේ අයියා ආවට පස්සේ.  එදා ඉඳලා අද වෙන කලුත් ඒ අයියා මායි නංගියි එක්ක මේ ගෙදර ඉන්නවා. එයා ආපු එක මට ලොකු හයියක් උනා. නැත්නම් බඩු ගේන්න කඩේ යන්න, පොලේ යන්න, බැංකු යන්න වගේ හැම වැඩක්ම මම තනියෙන් කලේ. දැන් ඒවා වලින් මම නිදහස්. ඇත්තටම නිදහස් ද? මම මගෙන්ම ඇහුවා.

තනියම ගෙදර වියදම දරන්න පුළුවන් කියලා අම්මාට චැලේන්ජ් කරපු මට ආයෙත් අම්මාගේ පිහිට පතන්න උනා. දවසින් දවස ඉහළ නඟින බඩු මිල මට ජිවිතේම එපා කරවනවා. මාසේ අන්තිම වෙද්දි පොකට් හිස් වෙද්දි බෑන්ක් බැලන්ස් හිඳිලා යද්දි රස්සාවත් දමලා ගහලා ආයෙත් මහගෙදරට දුවලා යන්න හිතෙනවා. “අනේ අම්මේ, මම පරාදයි! මට නම් තවත් බෑ!” කියලා අඬාගෙන අම්මා ගාවට දුවන්න හිතෙනවා.

ඒත් මේ පුංචි ගෙදරට මම ආදරෙයි. බඩගිනි උනාම මැගී එකක් හදාගෙන කන්න.. හයියෙන් සින්දු දාලා නාන කාමරේ ලිස්සල වැටෙනකල් නටන්න, මහ රෑ දෙක තුන වෙනකල් ඇහැරගෙන ෆිල්ම් බලන්න, පස්සට ඉර එළිය වැටෙන කල් නිදා ගන්න, ඔහේ ෂෝටයි බාටයි දාගෙන ගමයා වගේ හවසට ටවුමේ රවුමක් යන්න , මගේ ආදරේ එක්ක ඇති වෙන කල් බයික් එකේ රවුම් ගහන්න මේ තරම් නිදහසක් මට ලැබුනේ මේ පුංචි ගෙදරට ආවට පස්සේ.. මොන කට්ට කාගෙන හරි මම මේ ගෙදර ඉන්නේ ලේසියෙන් කෙල්ලෙකුට නොලැබෙන සුන්දර නිදහසක් මට ලැබිලා තියෙන නිසා..

දැන් අවුරුද්දකුත් ගත වෙලා..එදා තත්වය සම්පූර්ණයෙන් වෙනස්. දැන් නංගි තමයි ගෙදරට අධිපති. උයන පිහන වැඩ ගේ අස්පස් කරන වැඩ ඔක්කොම චූටි මැඩම්ගෙන් තමයි සිද්ද වෙන්නේ. කොටින්ම අයියා දැන් ගෙදරට ගේන්න අවශ්‍ය බඩු ගැන අහන්නෙත් නංගිගෙන්. මට දැන් මගේ ඇඳුම් ටික හෝදගන්නවා ඇරෙන්න වෙන කිසිම වැඩක් නැති තරම්..!

මගේ තේ කෝප්පෙත් ඉවර වෙලා.. පපුව පුරවලා ලොකු හුස්මක් අරගෙන හිතේ තිබ්බ දුක ඒ හුස්මට දිය කරලා මම ඒ හුස්ම පිට කරා. දැන් හිත සැහැල්ලුයි. දුවල ගිහින් බ්ලොග් එකක් ලියන්න ඕන. හිත කියනවා. අම්මා මට දීපු “Quotes and Sayings” පොතක මේ වගේ දෙයක් තිබුනා මට මතකයි.

“When life gives you a hundred reasons to cry, show life that you have a thousand reasons to smile.”

“ ජිවිතය ඔබට හඬන්නට හේතු සියයක් ගෙන දෙන විට, ඔබට සිනාසීමට හේතු දහසක්  ඇති බව ඔබ ජිවිතයට පෙන්වන්න”

ඕං බලාපන් ජීවිතය, මට හිනා වෙන්න කරුණු දාහක් නැතත් දහයක් වත් තියෙනවා.. ඒ නිසාම මම ජීවත් වෙනවා…